ජනාධිපති පුටුවට ට්‍රම්ප් හා කමලා කරට කර සටනක

ජනාධිපති පුටුවට ට්‍රම්ප් හා කමලා කරට කර සටනක

හතළිස් හත්වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී සිදු කර ඇති නවතම සමීක්ෂණවලට අනුව ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වන රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් අතර ජනාධිපති පුටුව සඳහා කරට කර සටනක් පවතින බව අනාවරණය වී තිබේ. වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාව සිටියදී ජනාධිපති සටනෙහි වැඩි වාසිය හිටපු ජනාධිපති ට්‍රම්ප් සතුව තිබුණද බයිඩන් ජනාධිපතිවරයා සිය අපේක්ෂකතත්වයෙන් ඉවත් වී එය සිය උප ජනාධිපතිනිය වන කමලා හැරිස් වෙත ලබා දීමත් සමගම ඡන්ද සටනෙහි මුහුණුවර වෙනස් වූ අතර ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර කරට කර සටනක් නිර්මාණය විය. රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සිය උප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඔහියෝ ප්‍රාන්තයේ සෙනෙට් සභික ජේම්ස් ඩේවිඩ් වෑන්ස් තෝරාගෙන ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා උප ජනාධිපතිනි කමලා හැරිස් විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරා ගෙන ඇත්තේ මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන තිමති ජේම්ස් වෝල්ස් ය.

ලබන අඟහරුවාදා (05දා) පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන සටන පවතිනුයේ ට්‍රම්ප් හා හැරිස් අතර වුවද තවත් අපේක්ෂකයන් සිවුදෙනකු මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව තරග වැද සිටින අතර මේ අනුව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 06කි. 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග වැද සිටින ස්වාධීන අපේක්ෂකයන් වනුයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු වන කෝනල් වෙස්ට්, කායික රෝග වෛද්‍යවරියක වන ජිල් ස්ටයින්, චේස් ඕලිවර් හා සමාජවාදී අපේක්ෂිකාවක වන ක්ලෝඩියා ඩි ලා කෘස් යන අයයි. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම ප්‍රාන්ත 48 ක සිදු කෙරෙන අතර ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මෙවර සුදුසුකම් ලබා ඇති ඇමෙරිකානු ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 186.5කට ආසන්න බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකානු ඡන්ද දායකයන් ජනාධිපතිවරණයේදී ඍජුවම ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්දය භාවිත නොකරන අතර ඔවුන් විසින් එක් එක් ප්‍රාන්තය වෙනුවෙන් මැතිවරණ විද්‍යාලය (ඉලෙක්ටරල් කොලේජ්) යනුවෙන් හැඳින්වෙන ආයතනය සඳහා තෝරා පත් කරගන්නා නියෝජිතයන් හරහා ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා පත් කරගනී. ඇමෙරිකා එක්සත් ජනපදය අයත් ප්‍රාන්ත 50න 48ක් පමණක් මෙසේ මැතිවරණ විද්‍යාලයට තෝරා පත් කරගන්නා නියෝජිතයන් හරහා ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා පත් කරගත්තද මේන් හා නෙබ්‍රස්කා ප්‍රාන්ත මෙයට වඩා වෙනස් අයුරින් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට දායක වේ. මෙහිදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන පක්ෂ දෙක විසින් එක් එක් ප්‍රාන්තය සඳහා තෝරා ගන්නා මැතිවරණ විද්‍යාල නියෝජිතයන් එම විද්‍යාලයට පත් කරනුයේ ඡන්ද දායකයන් විසිනි. මේ අයුරින් මැතිවරණ විද්‍යාලයට තේරී පත්වන නියෝජිතයන් බොහෝ විට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි නිලධාරීන් හෝ එම පක්ෂවල ආධාරකරුවන් වන අතර මේ අයුරින් ප්‍රාන්තවලින් විද්‍යාලය සඳහා තෝරා පත් කරගන්නා නියෝජිතයන් 538 දෙනා විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා පත් කර ගනී. එහිදී මැතිවරණ විද්‍යාල නියෝජිතයන් 270ක ගේ බහුතර ඡන්දය හිමිවන අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වේ. මෙසේ ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට මැතිවරණ විද්‍යාලය රැස් වනුයේ දෙසැම්බර් මැද භාගයේදීය.

ජනාධිපති පුටුවට ට්‍රම්ප් හා කමලා කරට කර සටනක
මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයන් රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ විසින් සිය ජාතික සමුළුවලදී ජනාධිපති අපේක්ෂකයන් තෝරා ගැනීමෙන් අනතුරුව ආරම්භ වූ අතර ලබන අඟහරුවදා ට පෙර දිනය දක්වාම ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා රට පුරා පවත්වන සිය මැතිවරණ ප්‍රචාරක

රැළිවලට සහභාගිවීමට නියමිතව තිබේ. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණ වේදිකාවේ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවන් අතර උද්ධමනය හා ආහාර මිල ගණන් ඉහළ යෑම, අධික බදු අය කිරීම, විරැකියාව, ගබ්සා කිරීමේ හා ප්‍රජනක අයිතිය සංක්‍රමණිකයන්ගේ ගැටලුව ප්‍රධාන විය. රටේ දැවෙන ගැටලු සම්බන්ධයෙන් ට්‍රම්ප් හා හැරිස් අතර රූපවාහිනි විවාදයක්ද සංවිධානය කර තිබූ අතර එම විවාදයේදී කමලා හැරිස් ට්‍රම්ප්ට වඩා මදක් ඉදිරියට පැමිණි බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. කෙසේ වුවද සිය රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට බලය පැවරෙන නියෝජිතයන් මැතිවරණ විද්‍යාලයට පත් කෙරෙන ජනාධිපතිවරණයේදී මෙවර තීරණාත්මක සාධකය වනුයේ අලුතින් ඡන්ද දයකයන්ගේ ලැයිස්තුවට එක් වුණු පාවෙන ඡන්ද බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )