
චීන ගඟනගාමීන් 3ක් අභ්‍යවකාශයට
චීනය සිය ප්‍රථම කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරුවරිය ඇතුළු ගගනගාමීන් තිදෙනකු රැගත් ‘ෂෙන්සවු -19’ අභ්‍යවකාශ යානය මාස හයක පර්යේෂණ මෙහෙයුමක් සඳහා ඊයේ (30) සාර්ථක අයුරින් අභ්‍යවකාශගත කර තිබේ. මෙම ගගනගාමීන් තිදෙනාගෙන් දෙදෙනකු 1990 න් පසු උපත ලබා තිබීම හේතුවෙන් චීනය විසින් මෙතෙක් අභ්‍යවකාශයට යැවූ තරුණම ගගනගාමීන් දෙදෙනා ද ඔවුන් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වයඹ දිග චීනයේ ගන්සු නගරයේ පිහිටි ජියුක්වෑන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් මුදා හැර ඇති එම චීන අභ්‍යවකාශ යානය පැය හයක ගමනකින් අනතුරුව චීනය විසින් තනා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථනය වෙත ළඟා වී ඇති අතර යානයේ ගමන් ගත් අභ්‍යවකාශගාමින් එම මධ්‍යස්ථානයේදී අභ්‍යවකාශයේ ඇවිදීම හා වෙනත් අභ්‍යවකාශ පර්යේෂණ කටයුතුවල නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම අභ්‍යවකාශ ගමනේදී අදාළ ගගනගාමීන් තිදෙනා විසින් රැස් කරගන්නා අත්දැකීම් හා ඔවුන්ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කර බලා වසර 2030 දී සඳ මතට ගගනගාමියකු ගොඩබැස්වීම චීන බලධාරීන්ගේ අරමුණ වී තිබේ. අභ්‍යවකාශයේ රැඳී සිටින මාස හයක කාලසීමාවේදී අභ්‍යවකාශ අපද්‍රව්‍යවලට එරෙහිව උපාංග සවි කිරීම, අභ්‍යවකාශයේ ජීවය පිළිබඳ පර්යේෂණ කිරීම ඇතුළු අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ 86 ක් සිදු කිරීමට චීන අභ්‍යවකාශ යානයේ සිටින ගගනගාමීන් තිදෙනා විසින් බලාපොරොත්තු වන බව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.