භාණ්ඩාගාරයේ වංචාවක් වෙලා තමයි.. හැබැයි මාලිමා අපි හොරු නෙමෙයි
හිටපු පාලකයන් තමන්ගේ පාලන කාලය තුළ ලබාගත් දූෂිත අත්දැකීම් සහ ඔවුන්ගේ මිම්මෙන් වර්තමාන මාලිමා රජය මැනීමට උත්සාහ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විපක්ෂයට දැඩි අභියෝගයක් කරයි.
මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් (හකර්වරුන්) විසින් සිදු කරන ලද වංචනික ක්‍රියාවක් පිළිබඳව රජය කරුණු හඳුනාගෙන ඇති බවත්, එය කිසිසේත්ම රජය දැනුවත්ව සිදු වූවක් නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා සිදුව ඇති මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් රජය කරුණු වසන් කර නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ පිළිබඳව දැනගත් වහාම අවශ්‍ය කරන නීතිමය පියවර ගනිමින් සිටින බවත්, විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.
උදය ගම්මන්පිල සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින් ජයසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් මීට පෙර සිටි නායකයන් සහ තමන් ලැබූ අත්දැකීම් මත පදනම්ව වර්තමාන ආණ්ඩුව ද වංචනිකයන් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන බවයි.
“තමන් වංචනිකයෝ, දූෂිතයෝ, හොරු නිසා මේ ආණ්ඩුවත් එහෙමයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒත් අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ මිම්මෙන් අපිව මනින්න එපා කියලයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වූ මහා බැංකු බැඳුම්කර වංචාවේදී ක්‍රමවේදයන් වෙනස් කිරීමට හෝ නිශ්චිත නියෝග ලබා දී ඇති බවට සාක්ෂි ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්තමාන රජය එවැනි කිසිදු මැදිහත් වීමක් සිදු කර නොමැති බවත් පිරිසිදු පාලනයක් ගෙන යන බවත් සහතික කළේය.
එසේම ගල් අඟුරු වංචාව වැනි දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන බවද ඔහු සිහිපත් කළේය.
රජය අපහසුතාවයට පත් කිරීමට මඩ ප්‍රහාර එල්ල කළද, මාලිමා රජය කිසිදු දූෂණයකට ඉඩ නොතබන බවත්, ඕනෑම තැනක වංචාවක් සිදුව ඇත්නම් එය ඔප්පු කරන ලෙසත් මහින්ද ජයසිංහ මහතා විපක්ෂයට අභියෝග කළේය.
