රනිල් ඉක්මනට රට භාරගත්තේ නැත්නම් යටත් විජිතයක් වෙනවාමයි

අභියෝගාත්මක මොහොතක රට භාරගෙන ස්ථාවරත්වයක් ඇති කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහුගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන නොගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනතාව තවදුරටත් දේශපාලන සුරංගනා කතාවලට හසු නොවිය යුතු බවත් රට ගොඩනැගීමට නම් 1977 ඇති වූ යුග පෙරළියටත් වඩා මහා පරිවර්තනයක් අවශ්‍ය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේදී ඩොලරයේ නිල අගය 380ක්ව තිබියදී වෙළෙඳපොළේ එය 500 දක්වා ඉහළ ගොස් තිබූ බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා, ඔහු සිය සැලසුම් හරහා එය රුපියල් 290 දක්වා පහත හෙළූ බව පවසනවා.

වර්තමානය වන විට අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 320 දක්වා යළිත් ඉහළ ගොස් ඇති බවත්, ඩොලරයේ අගය රුපියලකින් ඉහළ යන සෑම අවස්ථාවකදීම මහා භාණ්ඩාගාරයේ ණය බර රුපියල් බිලියන 37කින් ඉහළ යන බවත් ඔහු පෙන්වාදෙනවා.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් රටේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල වන බව පෙන්වා දුන් ඔහු, මෙම විනාශයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළා.

එමෙන්ම වත්මන් පීඩනය හමුවේ වුවද ජනතාව තමන් සතු රන් ආභරණ උකසට තබා හෝ සිය සංස්කෘතික වටිනාකම් රැකගනිමින් අලුත් අවුරුද්ද සැමරීමට උත්සාහ කළ බවත්, එම පණිවිඩය රජය වටහා ගත යුතු බවත් ඔහු පවසනවා.

තවද ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 90 දක්වා අඩු වී ඇති පසුබිමක, මිල සූත්‍රය අනුව එහි වාසිය ජනතාවට ලබා දීමට ආණ්ඩුව කාරුණික විය යුතු බව ද වජිර අබේවර්ධන මහතා කියා සිටියා.

මේ අතර පැරණි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අතීතයේ යම් වැරදි සිදුවී ඇති බව මින් තහවුරු වන බවයි.

රටට දැන් අවශ්‍ය වන්නේ ස්වාධීන ප්‍රසම්පාදන කොමිෂන් සභාවලටත් එහා ගිය, සියලු දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කරන විනිවිදභාවයෙන් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් බව ද ඔහු අවධාරණය කළා.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දුන් ආර්ථික පරිවර්තන පනත සහ දූෂණ විරෝධී පනත වැනි දෑ රටට යහපතක් පිණිස ගෙන ආ බවත්, හුදෙක් උද්ඝෝෂණය කරන විරුද්ධ පක්ෂයකට වඩා රට ගොඩනැගීමට සැලසුම් සහ අත්දැකීම් ඇති නායකත්වයක් අද රටට අත්‍යවශ්‍ය බව ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )