
ජුලම්පිටිය අමරේගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් ස්ථිර කරයි
2012 වසරේදී කටුවන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කර අභියාචනාධිකරණය විසින් තහවුරු කර
තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඊයේ (07) තහවුරු කරන ලදී.
අදාළ මහාධිකරණ තීන්දුව බල රහිත කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරුන් මගින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරමින් මෙම දඬුවම අනුමත කෙරිණ.
ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.
එම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන බැවින් එය විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභ කරන බව විනිසුරු මඬුල්ල එහිදී සඳහන් කළේය.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු මරා දැමීම සහ තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජුලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019දී එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ තංගල්ල මහාධිකරණය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු බවට තීරණය කළේය. අනතුරුව ඔහුට මරණ දඬුවම නියම කළේය.
එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කළේය. එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳ සිය තීන්දුව 2024 වසරේ ප්‍රකාශයට පත් කළේය. ඔහුට තංගල්ල මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම එම තීන්දුව මගින්ද හවුරු කළ අතර ඔහුගේ අභියාචනය නිෂ්ප්‍රභ කෙරිණ. තංගල්ල මහාධිකරණයෙන් තමන්ට පැනවූ සහ අභියාචනාධිකරණයෙන් තහවුරු කළ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ඔහු නීතිඥවරු මගින් මෙම අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය. තමන්ට එරෙහිව ඇති මහාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු බල ශූන්‍ය කරන ලෙස ඔහු මෙම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
නෙල්කා මැදගෙදර