ඉන්දුනීසියාවේදී කොටු වූ අපරාධ කල්ලි නායකයින්ට ඇති චෝදනා

ඉන්දුනීසියාවේදී කොටු වූ අපරාධ කල්ලි නායකයින්ට ඇති චෝදනා

මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

එහිදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.

පොලීසිය පැවසුවේ, ඔවුන් සමග සිටි බැකෝ සමන්ගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තුන් හැවිරිදි දරුවා පොලිස් භාරයට ගත්බවය.

අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පසුගිය පෙබරවාරි 19 වනිදා පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේටයි.

එහිදී වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවයට.

ඊට අමතරව කෙහෙල්බද්ද පද්මේ ඇතුළු මෙම පිරිසට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

එවන් පසුබිමක පසුගිය සමයේ කෙහෙල්බද්දර පද්මේට සමීප පාතාල කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.

ඒ අනුව අගෝස්තු 03 වනිදා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බව කියන ‘පස් දේවා’ අත්අඩංගුවට ගනු ලැබුවේ, කටුනායක ගුවන් තොටුපොළේදීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අගෝස්තු 06 වනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් බැකෝ සමන් හා තැඹිලි ළහිරු නැමැති අපරාධකරුවන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, පසුගිය පෙබරවාරි 18 වනදා අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනාගේ ඝාතනය මෙහෙයවීමය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )