
වැඩිම කාන්තා නියෝජනයක් ඇත්තේ දසවැනි පාර්ලිමේන්තුවටයි
දසවැනි පාර්ලිමේන්තුව, විවිධ දේශපාලන, ජනවාර්ගික සහ ආගමික පසුබිම්වලින් යුක්ත වැඩිම කාන්තා නියෝජනයකින් සමන්විත පාර්ලිමේන්තුව බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
එසේම කාන්තාවන් බලගැන්වීම, ප්‍රණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටීම සහ නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම යන අංශ කෙරෙහි සංසදය ප්‍රධාන වශයෙන් අවධානය යොමුකොට ඇති බව ද ඇමැතිවරිය සඳහන් කළාය.
අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළේ KAS (Konrad Adenauer Stiftung) ආයතනයේ නියෝජිතයන් සහ දකුණු හා අග්නිදිග ආසියාවේ තරුණ දේශපාලන නායකයින් පිරිසක් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවූ අවස්ථාවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ දේශපාලනයේ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් පෙනී සිටීම, වරප්‍රසාද නොලත් කාන්තාවන්ට සහාය වීම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා සංසදය මැදිහත් වන බවයි.
එසේම පැමිණි තරුණ නායකයින් සහ නියෝජිතයන්ද තම අදහස් සහ අද්දැකීම් සංසදය සමඟ ප්‍රකාශ කිරීම සිදු විය. ඉන් අනතුරුව නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර පාර්ලිමේන්තු රැස්වීම ද නිරීක්ෂණය කළහ.
සංසදයේ ගරු නියෝජ්‍ය සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, චතුරි ගංගානි, (නීතිඥ) නිලූෂා ලක්මාලි ගමගේ, (නීතිඥ) තුෂාරි ජයසිංහ, (නීතිඥ) අනුෂ්කා තිලකරත්න, (නීතිඥ) ලාක්මාලි හේමචන්ද්‍ර, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දීප්ති වාසලගේ, ඔෂානි උමංගා සහ අම්බිකා සාමිවේල් මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.