ලෝකයේ අවධානය ඇලස්කාවට හැරවුණු හැටි

ලෝකයේ අවධානය ඇලස්කාවට හැරවුණු හැටි

සමස්ත ලෝක ප්‍රජාවගේ අවධානය අද යොමුවන්නේ උතුරු අමෙරිකාවේ වයඹදිග කෙළවරේ පිහිටි අමෙරිකාවට අයත් ජනපදයටය. යුක්රේන යුද අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ මුහුණට මුහුණ හමුව සිදුවීමට නියමිතව ඇත්තේ ඇලස්කාවේ ඇන්කොරේජ් නගරයේ අධි ආරක්ෂිත එල්මන්ඩෝෆ් – රිචඩ්සන් ඒකාබද්ධ හමුදා කඳවුරු සංකීර්ණයේදීය.

එහෙත් ආරක්ෂක ක්‍රමවේදයට අනුව අවසන් මොහොතේ දෙදෙනාගේ හමුව වෙනත් ස්ථානයක සිදුවිමට ද වැඩි ඉඩකඩක් පවතී. ලෝක බලවතුන් මුහුණට මුහුණ මුණගැසෙන මේ අවස්ථාව ඓතිහාසික වනු ඇතැයි දැනටමත් දේශපාලන විචාරකයන් අනාවැකි පිට අනාවැකි පළ කර තිබේ. එය කෙසේ වුවත් යුක්රේන ජනාධිපති වොලිදිමිර් සෙලෙන්ස්කි නම් පසුවන්නේ දෙගිඩියාවෙනි. ට්‍රම්ප්ගේ සහ පුටින්ගේ හමුව සිදුවන්නේ යුක්රේන යුද අර්බුදයට සිය සහභාගිත්වය නොමැතිව කිසිදු සාම සාකච්ඡාවකින් ප්‍රථිපලයක් අත් නොවන බවට පුන පුනා ප්‍රකාශ නිකුත් කරද්දීය.

මෙම සාම සාකච්ඡාවට සෙලෙන්ස්කි සහභාගි කරනොගන්නේ රුසියානු පාර්ශ්වයෙන් ඉදිරිපත්වූ යෝජනාවක් මත බව කියමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු සෙලෙන්ස්කි අස්වසමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෙවැනි සාකච්ඡාවේදී ඔහුව සම්බන්ධ කරගන්නා බවය. එහෙත් එය යුක්රේන ජනාධිපතිවරයා සෑහීමකට පත් වීමට තරම් ප්‍රමාණවත් නොවන අතර, සෙලෙන්ස්කි සහභාගි නොවන යුක්රේන සාම සාකච්ඡාවකින් කිසිදු ප්‍රගතියක් අත්නොවන බවට යුරෝපයේ රාජ්‍ය නායකයන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් සෙලෙන්ස්කිගේ දෙගිඩියාව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ඉන් නොනැවතී ඔහු මීට දින කිහිපයකට පෙර යුරෝපා රාජ්‍ය නායකයන් මුණ ගැසීම සඳහා ජර්මනියේ බර්ලින් නුවර බලා පිටත්වූ අතර, එහිදී යුරෝපයේ රාජ්‍ය නායකයන්ගේ සහයෝගය තවදුරටත් ශක්තිමත් කරගැනීමට සමත්ව සිටී. ඕනෑම අවස්ථාවක යුක්රේනය වෙනුවෙන් ඉදිරිපත් වන බවට යුරෝපයේ රාජ්‍ය නායකයන් සෙලෙන්ස්කිට ප්‍රකාශ කර ඇත.

සෙලෙන්ස්කිගේ කෝපය

පුටින් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්රේනය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීමට යුරෝපීය රාජ්‍ය නායකයන් ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකතනය ඔස්සේ සාකච්ඡා කිරිමට ද පියවර ගත් අතර, එහි අරමුණ වූයේ රුසියාව විසින් අත්පත් කරගත් යුක්රේන භූමි කලාප මුදා ගැනීමය. එම ගැටලුව මතු වූයේ ඕනෑම සටන් විරාමයක් සඳහා භූමි හුවමාරුවක් සිදුවිය යුතු බවට තමා විශ්වාස කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින දෙකකට පෙර කළ ප්‍රකාශයකි. එය සෙලෙන්ස්කිගේ කෝපයට හා දැඩි විවේචනයට හේතුවී තිබූ අතර, එම ප්‍රකාශය හෙළා දකිමින් සඳහන් කර ඇත්තේ යුක්රේනයේ පාලන කලාප සම්බන්ධව සිය ව්‍යවස්ථාවේ නිසි පිළිතුරු සපයා ඇති බවය. බලහත්කාරයෙන් අත්පත් කරගත් භූමි කලාප රුසියාවට පූජා කිරීමට කිසිදු යුක්රේන ජාතිකයකු කැමති නොවන බව ද සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර තිබේ. යුරෝපා රාජ්‍ය නායකයන් ට්‍රම්ප් සමඟ දුරකතන සංවාදයක නිරතවූයේ ඒ අනුවය. පැයක කාලයක් පුරා පැවැති එම දුරකතන සංවාදයට සෙලෙන්ස්කි ද එක්වූ අතර, බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ද ඊට ඇතුළත් විය.

ඇලස්කා සාම සාකච්ඡාව සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් පූර්ණ විශ්වාසයෙන් යුතුව පසුවන අතර, රුසියානු ජනාධිපතිවරයා මුණ ගැසීමේ දැඩි උනන්දුවකින් සහ නොඉවසිල්ලකින් බලා සිටින බවත් ඔහු ඊයේ ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවත් ඔහු යුරෝපා රාජ්‍ය නායකයන් සහ සෙලෙන්ස්කි සමඟ දුරකතන සංවාදයේ නිරතවීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාම ගිවිසුමට එකඟ නොවුවහොත් පුටින්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දිමට සිදුවන බවය. එමෙන්ම අද සාකච්ඡාව සාර්ථකව අවසන් කිරීමට හැකිවුවහොත් සෙලෙන්ස්කි ද එකතු කර ගනිමින් කඩිනමින් දෙවැනි සාකච්ඡාවකට පුටින් එකඟ කරගන්නා බව ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඒ පිළිබඳ සහතිකයක් හෝ කාලවකවානුවක් සඳහන් කර නැත.

යුක්රේන ජනාධිපති හෝ යුරෝපා රාජ්‍ය නායකයන් බැහැර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමට පුටින් හමුවන්නේ ඔහුගේ මැතිවරණ පොරොන්දුවකට අනුවය. පසුගිය ජනවාරියේදී දෙවැනි ධුර කාලයේ දිවුරුම් දුන් දිනයේදීද ඔහු සඳහන් කර ඇත්තේ පැය 24කින් වුවත් යුක්රේන අර්බුදයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ඇති බවය. එහෙත් රුසියාව හෝ ව්ලැදිමිර් පුටින් හෝ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූ බව එවකට වාර්තා වී තිබිණි. පෙබරවාරියේ පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කිසිවකු හෝ කළ විමසුමකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සාමය සඳහා රුසියාවේ ඇති කැපවීම ඉතා අවම බවය. කෙසේ වෙතත් ඔහු පෙරේදා යුරෝපා නායකයන්ට සහ සෙලෙන්ස්කිට කියා සිටියේ යුක්රේනයේ අනාගත ස්වෛරීභාවයට හානි කරන කිසිදු සහනයක් රුසියාවට ලබා නොදෙන බවය. එමෙන්ම මේ හමුව යුක්රේනයට එල්ල වන බරපතළ ප්‍රහාර වළක්වා ගැනීමට සහ තාවකාලික සහනයක් අත්කර ගැනීමට වැදගත් වනු ඇති බවය.

ඉන්දියාව

මේ සාකච්ඡාව යුක්රේනය සමඟ සාම සාකච්ඡාවකට පුටින් එකඟ කරගැනීමේ අරමුණින් යුතුව සිදුවන බවත්, එය පුටින්ගේ කොන්දේසි පරීක්ෂා කිරීමේ අවස්ථාවක් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා නායකයන්ට පැහැදිලි කර තිබේ.

ඇලස්කාවේදී අද සිදුවන ට්‍රම්ප් – පුටින් හමුව කෙරෙහි දැඩි උනන්දුවකින් යුතුව පසුවන තවත් රාජ්‍ය නායකයකු දකුණු ආසියාවේද සිටී. ඔහු අන් කිසිවකු හෝ නොව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ය. ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු ප්‍රතිපත්තියට අනුව පනවනු ලැබූ 25%ක තීරුබද්දට අමතරව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන් තවත් 25%ක අතිරේක තීරුබද්දකට මුහුණ දීමට ඉන්දියාවට සිදුවී ඇත. එම තීරුබද්ද අය කිරීම දින 21කට අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කළද, රුසියාව සමඟ ඇති වෙළෙඳ ගනුදෙනු අත්හිටුවීමට ඉන්දියාව සූදානම් නැති බව ද ප්‍රකාශ කර තිබේ.

එබැවින් ලෝක නායකයන්ගේ අද සාකච්ඡාවෙන් අත්වන ප්‍රගතියෙන් අතිරේක තීරුබද්ද ඉවත් කරගැනීමේ ඉඩකඩක් ද මතුවී තිබේ. ඉන්ඩියා ටුඩේ පුවත් සේවය ඊයේ සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය යෙදී ඇති අද (15) දිනයේදීම ලෝක බලවතුන්ගේ ඓතිහාසික හමුව පැවැත්වීම කැපී පෙනෙන සිදුවීමක් බවය. විවිධ රටවලින් ආරාධිතයන් පන්දහසකගේ සහභාගිත්වයෙන් අද ඉන්දියාව ජාතික නිදහස් දිනය සමරද්දී ඉන්දියාවට තීරුබද්දෙන් නිදහස් වීමේ ඉඩකඩ පවතින පරීක්ෂණයක් ඊට කිලෝමීටර් දහස් ගණනක දුරින් ඇලස්කාවේ පැවැත්වෙන බව ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් අමෙරිකාවෙන් එල්ල වන ආර්ථික හා භූ දේශපාලනික පීඩාවන්ගෙන් සහනයක් ලැබීම සඳහා ඉන්දියාවට බලාපොරොත්තු තැබිය හැකිදැයි තීරණය වන්නේ එම සාම සාකච්ඡාවෙන් ලැබෙන ප්‍රතිඵල අනුවය.

කෙසේ වුවත් යුක්රේනය, ඉන්දියාව ඇතුළුව ලොවම කුතුහලයෙන් යුතුව බලා සිටින ට්‍රම්ප් – පුටින් සාම සාකච්ඡාව සම්බන්ධව ලොව පුරා දේශපාලන විචාරකයන් පළ කර ඇත්තේ පරස්පර විරෝධී අනාවැකි සමුදායකි. ඇතැම් විචාරකයන්ට අනුව එම සාකච්ඡාව ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්වන එකකි. තවත් සමහර විචාරකයන්ගේ අදහස වී ඇත්තේ අමෙරිකාව සහ රුසියාව අතර සම්බන්ධතාව අලුත් කරගැනීම හැර යුක්රේන පාර්ශ්වයට ප්‍රගතියක් අත්නොවනු ඇති බවය. යුද අර්බුදයට හේතු වූ ඩොන්බාස් කලාපය ඇතුළු යුක්රේනය අයිතිය ඉල්ලා සිටින කලාපවල බලය අත්හැරීමට පුටින් සූදානම් නැති අතර, එම කලාප රුසියාවට භාරදීමට යුක්රේනය ද සූදානම් නැත. එබැවින් ඩොනල්ඩ් ට්‍රම්ප් කෙසේ කීවද, අවසන් තීන්දුව ඇත්තේ පුටින් අත බව විචාරකයෝ කියති.

ආන්දෝලනාත්මක ප්‍රකාශ

ලෝක බලවතුන්ගේ සාම සාකච්ඡාව සඳහා ඇලස්කාව තෝරා ගැනීම ද පුටින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව සිදුවූවකි. ඇලස්කාව යනු අමෙරිකාවේ භූමි කලාපයක් නොවන අතර, එය හවායි දූපත මෙන්ම අමෙරිකාවට අයත් උතුරු අමෙරිකාවේ කොටසකි. එය 19 වැනි සියවසේදී එවකට රුසියාවේ දෙවැනි සාර් රජුගේ පාලනය යටතේ කොලොනියක් ලෙස පැවති අතර, පසුව අමෙරිකාවට විකුණා දැමුවේ ඩොලර් මිලියන 7.2ක මුදලකටය.

ට්‍රම්ප් සහ පුටින් අතර සාම සාකච්ඡාව සම්බන්ධව දින කිහිපයක සිට ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කළ ට්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ අදහසට අනුව මේ හමුව පැවැත්වීමට ඇලස්කාව හැරුණු විට පුටින්ට වඩාත්ම හොඳ තැනක් වන්නේ මොස්කව් පමණක් බවය. එය පුටින්ගේ ජයග්‍රහණයක් බවත් බෝල්ටන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව දෙදෙනාගේ හමුව ආරම්භ වීමටත් පෙර පුටින් ජයග්‍රහණය අත්කරගෙන සිටින බව ද සඳහන් කර ඇති ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක උපදේශකවරයා මේ හමුව යුක්රේනයට නම් කිසිසේත්ම යහපතක් නොවන බවද ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය ටෘත් සමාජ මාධ්‍යජාලයේ ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්වූ බව ද වාර්තා වේ.

සාම සාකච්ඡා

ඇලස්කාවේ අධි ආරක්ෂක රැකවල් මැද ඇන්කොරේජ් නගරයේ සියලු මාර්ග සහ ගුවන් සීමා වසා දමා සිදුකෙරෙන ට්‍රම්ප් සහ පුටින් අතර සාම සාකච්ඡාව තවත් අතකින් ඉතිහාස ගතවන්නේ වසර 10කට පසු ව්ලැදිමිර් පුටින් අමෙරිකානු භූමියට පා තබන පළමු අවස්ථාව වන බැවිනි. ඔහු 2015 වසරේදි අවසන් වරට අමෙරිකාවට පැමිණියේ නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සහභාගි වීමටය. එවර ඔහු එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ බැරක් ඔබාමා සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්විය. අනිත් අතට 2021 දී ජිනීවා නුවරදී පුටින් සහ එවකට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවති හමුවෙන් පසු රුසියානු සහ අමෙරිකානු රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවන්නේ පළමු වතාවටය. 2019 දී සිය පළමු ධුර කාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් ජපානයේ ඔසාකා නගරයේ පැවැති ජී20 රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී මුණ ගැසීමෙන් පසු මේ හමුවන්නේ පළමු වතාවටය. විචාරකයන් සඳහන් කර ඇත්තේ මේ සියලු වාර්තාගත හමුවීම් අවසානයේදී ප්‍රතිඵල රහිතව හෝ දෙරටට පමණක් වැදගත් වන ආකාරයෙන් නිමාවට පත්වන බවය. රුසියානු ජනාධිපති මන්දිරයේ සමීපතමයකු වන යූරි උෂාකොව් සඳහන් කර ඇත්තේ මොස්කව් නුවරට පැමිණෙන ලෙස දැනටමත් අමෙරිකානු ජනාධිපතිවරයාට පුටින් ඇරියුම් කර ඇති බවය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )