
අපි භාරගත්තේ හොඳටම වැටුණු රටක්- ඉක්මනින් නැගිටුවන්න බැරි ඒකයි
වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව තුළ වඩාත් විනිවිදභාවයකින් යුත් ආයෝජන-හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බවත් ඒ අනුව විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශයන්හි ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික සමාගම්වලට මෙරට ආයෝජන අවස්ථා පුළුල් කරන ලෙස ඔහු ආරාධනා කළේය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය කැමැත්තෙන් නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පරිසරය සැකසීම රජයේ දීර්ඝකාලීන සැලසුම බවයි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින්, වඩා හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් විදේශගත වීමට රට වැසියන්ට අවශ්‍ය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම අරමුණයි. මේ සඳහා, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට සාමුහික උත්සාහයකට එක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට මෙරට සියලු අංශවල ආයෝජනය කිරීමට ද මෙහිදී ආරාධනා කළේය.
අමාත්‍ය හේරත් වැඩි දුරටත් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව අගනා සම්පත් සහිත මනරම් දිවයිනක් වන අතර, ස්වභාවික සෞන්දර්ය අතින් ලෝකයේ ඉහළම ස්ථානයක් ගන්නා බවයි. කෙසේ වෙතත්, අතීතයේ පැවති වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටුණු බවත්, වත්මන් ජාතික ජන බලවේග රජය භාරගන්නා විට දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පරිහානියට පත් වූ බංකොලොත් තත්ත්වයක රට පැවති බවත් ඔහු ප්‍රකාශ කළේය.
වත්මන් රජය රට භාරගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව අමාත්‍යවරයා පිළිගත්තේය. එහෙත්, නිවැරදි ව්‍යුහයන් යටතේ වංචාවට හා දූෂණයට කිසිදු ඉඩක් නොතබමින් මෙරට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය දැඩිව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.