
මෝල් හිමියන් වැඩි මුදලට වී මිලදී ගැනීමෙන් සහල් ප්‍රශ්නයට අනිසි බලපෑමක් වෙනවා
වී සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන් සහතික මිලට වඩා වැඩි මුදලකට වී මිලදී ගන්නා බවත් ඉදිරියේදී සහල් ප්‍රශ්නයට එය අනිසි ලෙස බලපානු ඇතැයි සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ හෙතෙම මෙහිදී වැඩිදුරටත් මෙසේද කීය.
මේ වනවිට රටේ ජනතාවට බලපා තිබෙන විශාලම ප්‍රශ්නය තමයි සහල් ප්‍රශ්නය. ලංකාව තුළ විවිධ කැරළි කෝලාහල ඇති වුණා. ස්විභාවික විපත් ඇති වුණා. විවිධ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් මේ කිසිදු අර්බුදයක් තුළ රටේ ජනතාවට සහල් ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ හාල් පෝලිං තිබුණා. නමුත් ගොවියාව ශක්තිමත් කරලා රටේ ජනතාවට සහන ලබාදෙන බවට කියමින් බලය ලබාගත් ජාතික ජනබලවේග ආණ්ඩුව ලංකාවේ පළමු වතාවට හාල් හිඟයක් ඇති කරන්න කටයුතු කළා. මිනිස්සුන්ට ජනවාරි පළමු වැනිදාට කිරිබත් පිස ගන්න හාල් සොයා
ගැනීමට නොහැකි මට්ටමකට රට ඇදලා දමන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කළා. ඇතැම් ඇමැතිවරු හාල් කිරිබත් පිසින්න සහල් යොදාගැනීම, කිරිබතක් සාදාගන්න පොල් මිරිකන කටයුතු කිරීම අපරාධ ලෙස තමයි දැක්කේ. හාල් හිඟයට, පොල් හිඟයට හේතුව වඳුරන් රිලවුන් කියලා ඒ සත්තුන්ට බැනලා රජය ප්‍රශ්නවලින් පැන ගියා. නමුත් මැතිවරණ වේදිකාවල ගොවියන්ව රජ කරවන්න තමයි ජාතික ජනබලවේග ආණ්ඩුව කතා කළේ. වර්තමාන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු විපක්ෂයේ සිටින කාලයේ ගොවියන් සමග පාරට බැහැලා උද්ඝෝෂණ කරමින් තමයි දේශපාලනය කළේ. නමුත් දැන් ඒ මැති ඇමැතිවරුන්ට ඒවා අමතක වෙලා තිබෙනවා.
ඒ වගේම ලාල් කාන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළ ආකාරයට ගොවින්ට වි සදහා සහතික මිලක් ලබාදෙනවා කියලා. නමුත් ලාල්කාන්ත ඇමැතිවරුයා සහ නාමල් කරුණාරත්න ඇමැතිවරයා වී වලට සහතික මිලක් නියම කර තිබෙන බව ප්‍රකාශ කළා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 ක මුදලකට , සම්බා වී කිලෝවක් රුපියල් 125 ක මුදලකට ගොවින්ගෙන් මිලදි ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් මේ වනවිට ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගොවින් ඔවුන්ගේ වී අස්වැන්න මහා පරිමාන වී මෝල් හිමියන්ට ලබාදිලා අවසානයි.
ගොවින්ට වි අස්වැන්න නෙලාගත්තාට පසුව වී ගබඩා කරගෙන ඉන්න පහසුකම් නැහැ. ඒ වගේම අස්වැන්න විකුණලා ගොවින් උත්සහ කරන්නේ ඔවුන් කුඹුරු කිරීමට ගත් ණයවලින් නිදහස් වෙන්න.
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නිතරම ප්‍රකාශ කළේ ගොවින්ට වී සඳහා රුපියල් 130 කට වැඩි සහතික මිලක් නියම කරන ලෙසයි. ගොවින් බලාපොරොත්තු වුණෙත් එවැනි සාධාරණ මුදලක් ගොවින්ට ලැබෙයි කියලා. කෙසේ නමුත් වී වලට සාධාරණ මුදලක් නොලැබිම නිසා ගොවින්ට ගොවිතැනෙන් ඉවත් විමට සිදුවි තිබෙනවා. කෙසේ නමුත් මහා පරිමාන වී මෝල් හිමියන් විසින් ආණ්ඩුව ප්‍රකාශ කළ සහතික මිලට වඩා වැඩි මුදලකට වී මිලදි ගන්නවා. එයින් ගොවියාට විශාල සාධාරණයක් සිදුවෙනවා. නමුත් එය මේ ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි. රජය සහතික මිලක් නියම කරන්න විශාල කාලයක් ගත්තා. ඒ නිසා ගොවියාගේ වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශය මිලට ගත්තාට පසුව තමයි රජය සහතික මිලක් නියම කරන්නේ. කෙසේ නමුත් මහා පරිමාන සහල් මෝල් හිමියන් රජය නියම කළ සහතික මිලට වඩා පොඩි මුදලක් හෝ වැඩියෙන් ගොවින්ගෙන් වි මිලදි ගන්න කටයුතු කරනවා.