
ඔලිම්පික් කමිටු ලේකම්ට එරෙහි නඩුව ලබන 18 යළි කැඳවයි
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල ලබන මස 18 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (05දා) නියෝග කළේය.
එකී පැමිණිල්ලේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්‍ෂා කරන බැවින් ඒ සඳහා දින ලබාදෙන ලෙසට විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම නියෝගය කළේය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරි ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්‍ෂ යන මහත්වරුන් එම පැමිණිල්ල ගොනු කර තිබිණි.
විත්තිකාර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා දූෂණ චෝදනා රැසක් එල්ලව තිබූ පුද්ගලයකු වන බැවින් ඔහුට එම තනතුර දැරිය නොහැකි බවට නිගමනය කළත් ඔහුගේ එකී තනතුරට අදාළ කටයුතු සිදුකිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරනා ලෙස පැමිණිලිකරුවන් එමගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඉදිරි දිනයට පෙර විරෝධතා ඇති නම් ලිඛිතව තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරුවරයා විත්තිකාර පාර්ශ්වයට වැඩිදුරටත් නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක