උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි

උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින තුනකින් කල් ගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනක් දක්වා කල් දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව නැවත උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වැනිදා ආරම්භ වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (28) පැවසුවේය.

දෙසැම්බර් 04 වැනිදා නැවත විභාගය ආරම්භ කරන අතර එදිනට පැවැත්වීමට නියමිත විෂයන් එදින පැවැත්වෙන බවත් මේ වන විටත් නිකුත් කර ඇති කාලසටහනට අනුව රසායන විද්‍යාව පළමු පත්‍රය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව පළමු පත්‍රය සහ සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය පැවැත්වෙන බවත් ඒ මහතා පැවසුවේය.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රථම වතාවට විභාගය කල් දැමූ අතර නැවත දින තුනක් දක්වා එම කාලය දීර්ඝ කරමින් දෙසැම්බර් 03 වැනිදා දක්වා විභාගය කල් දමා තිබේ.

නොවැම්බර් 27 වැනි බදාදාට නියමිත විෂයන් දෙසැම්බර් 21 වැනි සෙනසුරාදාත්, නොවැම්බර් 28 වැනි බ්‍රහස්පතින්දාට නියමිත විෂයන් දෙසැම්බර් 23 වැනි සඳුදාත්, නොවැම්බර් 29 වැනිදාට නියමිත විෂයන් දෙසැම්බර් 27 වැනි සිකුරාදාත්, නොවැම්බර් 30 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත විෂයන් දෙසැම්බර් 28 වැනි සෙනසුරාදාත්, දෙසැම්බර් 02 වැනි සඳුදා පැවැත්වීමට නියමිත විෂයන් දෙසැම්බර් 30 වැනි සඳුදාත්, දෙසැම්බර් 03 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිත විෂයන් දෙසැම්බර් 31 වැනි අඟහරුවාදාත් පැවැත්වේ.

විභාග අපේක්ෂකයන් සියලු දෙනා පෙනී සිටින සාමාන්‍ය පොදු පරීක්ෂණය විෂය පැවැත්වෙන දෙසැම්බර් 07 වැනිදා විභාගය කල් යෑම හේතුවෙන් සංශෝධිත සම්පූර්ණ කාලසටහනේ මුද්‍රිත පිටපතක් සියලු දරුවන් අතට පත් කිරීමට විභාග මධ්‍යස්ථාන තුළදී කටයුතු කරන බවත් කාලසටහන දැනට මුද්‍රණය කර තිබෙන සුදු වර්ණය වෙනස් කර සංශෝධිත කාලසටහන වෙනස් වර්ණයකින් දරුවන් අතට පත් කරන අතර මාධ්‍ය මඟින් දරුවන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසුවේය.

දරුවන්ගේ මානසික සුවතාව යහපත් කිරීම උදෙසා මෙම තීරණ ගත් බවත් කිසිදු ආකාරයකින් දරුවන්ගේ මනස අයහපත් කර නොගෙන විභාගයට පෙනී සිටීම සඳහා සියලුදෙනා උපකාර කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )