පැරදුණ ටයිසන්ට කෝටි 582ක්

පැරදුණ ටයිසන්ට කෝටි 582ක්

බොක්සිං වළල්ලේ රජු ලෙස ප්‍රකට හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් වසර 19කට පසු නැවතත් බොක්සිං වළල්ලට පැමිණ යූටියුබර් බොක්සිං තරුවක් වූ ජේක් පෝල්ට පරාජය වුවද, 58 හැවිරිදි ටයිසන්ට ඉන්දීය රුපියල් කෝටි 168කට වැඩි මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 582.6) සංවිධායකයෝ ප්‍රදානය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජයග්‍රාහී 27 හැවිරිදි ජේක් පෝල්ට ඉන්දීය රුපියල් කෝටි 320ක ආදායමක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1109.8ක්) ලැබී ඇත. අමෙරිකාවේ ටෙක්සාස්හි ඒටී ඇන්ඩ් ටී ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති මේ තරගයේදී ඒකමතික තීරණයකින් (78-73ක් ලෙස) ජේක් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්විය.

වසර ගණනාවකට පසු ටයිසන් බොක්සිං වළල්ලට පැමිණි පළමු අවස්ථාව මෙය වූ බැවින් විශාල පිරිසක් තරගය නැරඹීමට පැමිණියහ. ක්‍රීඩාගාරයේ ප්‍රභූ ආසනයක මිල ඉන්දීය රුපියල් ලක්ෂ 4 සිට ලක්ෂ 21 දක්වා වූ අතර, තරගය ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සඳහා මාර්ගගත ප්‍රවාහ සේවාවේ (Online streaming service) දැවැන්තයකු වූ Netflix හි සහාය ඇතිව සජීවීව විකාශය කිරීමෙන් විශාල ආදායමක් ලැබී තිබේ.

හිටපු හෙවිවේට් ශූරයකු වූ ටයිසන් 2005දී වෘත්තීය බොක්සිං ක්‍රීඩාවෙන් සමුගනිද්දී බොක්සිං දිවියේ ජයග්‍රහණ 50ක් සහ පරාජයන් 6ක් ලබා ඇත.

මෙයට වසර ගණනාවකට පෙර එවාන්ඩර් හොලිෆීල්ඩ්ට එරෙහිව කුප්‍රකට සටනකදී ටයිසන් ප්‍රතිවාදියාගේ දකුණු කනෙන් කොටසක් සපා කෑමෙන් බොක්සිං බලපත්‍රය අවලංගු කර ඩොලර් මිලියන 3ක දඩයක් ද නියම විය.

ප්‍රින්ස් ගුණසේකර

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )