දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් මාසික වියදම් භාරගන්නා ‘FLH මාපිය කැපකරු’ වැඩසටහන ඇරඹෙයි

දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් මාසික වියදම් භාරගන්නා ‘FLH මාපිය කැපකරු’ වැඩසටහන ඇරඹෙයි

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වෙමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ අරමුණින් FLH සමූහ ආයතනයේ FL Foundation විසින් ‘FLH මාපිය කැපකරු’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

2018 වසරේදී ආරම්භ කළ FL Foundation, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහි ‘FLH සත්කාර’ වැඩසටහන යටතේ මේ වනවිට දිවයින පුරා ව්‍යාපෘති 235ක් ක්‍රියාත්මක කර ඇති අතර, රුපියල් මිලියන 110කට අධික වටිනාකමින් යුත් ප්‍රතිලාභ ලබා දෙමින් ශ්‍රී ලාංකිකයන් 45,000කට පමණ සෘජු ප්‍රතිලාභ ලබාදී තිබේ.

එම සමාජ මෙහෙවරේ තවත් පියවරක් ලෙස ආරම්භ කර ඇති ‘FLH මාපිය කැපකරු’ වැඩසටහනේ මූලික අරමුණ වනුයේ අසරණ පවුල්වල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීමයි.

දරුවෙකුගේ අනාගතය වෙනස් කිරීමට අධ්‍යාපනයට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට පරිත්‍යාගශීලීන් සහ ජාතියේ ප්‍රමුඛතම බැංකුවක් ද එක්ව සිටිති.

වැඩසටහනේ පළමු අදියර යටතේ දරුවන් 100 දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වියදම් වසරක කාලයක් අඛණ්ඩව දැරීමට කටයුතු කර තිබේ. අධ්‍යාපනයට පමණක් සීමා නොවී, දරුවන්ගේ වයස හා අවශ්‍යතාව අනුව සෞඛ්‍ය, ක්‍රීඩා ඇතුළු අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය අවශ්‍යතා සඳහාද මෙම මාපිය කැපකරු වැඩසටහන ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කෙරේ.

ඉදිරි සති සහ මාස කිහිපය තුළ දිවයින පුරා පිහිටි FLH සමූහයේ ආයතන හරහා තවත් දහස් ගණනක් දරුවන්ගේ අධ්‍යාපනය, දැනුම හා ජීවන තත්ත්වය නඟාසිටුවීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

‘FLH මාපිය කැපකරු’ වැඩසටහන සඳහා ප්‍රතිලාභ බලාපොරොත්තුවන දරුවන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්, ආගමික නායකයන් හෝ විදුහල්පතිවරුන් හරහා හඳුනාගෙන ඉදිරිපත් කළ හැකි අතර, එම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන්ටද වැඩසටහන සමඟ එක්වීමට අවස්ථාව සලසා තිබේ.

වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.sathkaara.lk වෙබ් අඩවියෙන් හෝ 070 541 0547 දුරකථන අංකයෙන් ලබාගත හැකිය. ‘FLH සත්කාර’ වැඩසටහන් හා එමගින් ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු www.sathkaara.com වෙබ් අඩවිය, Sathkaara App සහ Facebook, Instagram හා YouTube සමාජ මාධ්‍ය ඔස්සේද ලබාගත හැකිය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )