
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ඉවත් කර, තවත් වගන්ති කිහිපයක් සංශෝධනය කර සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දන්වයි.
එම තීරණය කථානායකවරයා විසින් අද (21) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇති සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබූ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව, වැඩබලන නීතිපතිවරයා විසින් එකඟ වූ සංශෝධන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධන ද පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු බව අධිකරණය තීරණය කර ඇත.
සංශෝධනය කළ යුතු වගන්ති වැඩබලන නීතිපතිවරයාගේ එකඟතාව අනුව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65 සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතු බව දැනුම් දී තිබේ.
එමෙන්ම, පනත් කෙටුම්පතේ 6 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවට ද යෝජනා කර ඇත.
තවද, පනත් කෙටුම්පතේ පළමු උපලේඛනයේ 15, 16, 17 සහ 33 යන අයිතම ද ඉවත් කළ යුතු බව වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන අතරට ඇතුළත් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිල වාර්තාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙස ද කථානායකවරයා මෙහිදී නියම කළේය.
ඒ අනුව, අදාළ සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමෙන් පසු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සාමාන්‍ය පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතී.
