
SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජය සිය 10 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි
SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අතරම දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවමින්, දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දෙමින්, සමාජයේ යහපතට අර්ථවත් ලෙස දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පදනමක් බවට පත් වී තිබේ.
මහනුවර පාරිභෝගික සමාජය (Kandy Customer Club) සෑම වසරකදීම අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, ක්‍රීඩා හා විනෝදාස්වාදය ඇතුළු විවිධ අංශ ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරමය ක්‍රියාකාරකම් සංවිධානය කරයි. ඒ සඳහා එහි සාමාජික සාමාජිකාවන් සියලු දෙනාම පාහේ ඉතාමත් සක්‍රීයව දායක වෙති. මෙම ක්‍රියාකාරකම් මඟින් ප්‍රදේශයේ ජනතාවටත් පරිසරයටත් සුවිශාල යහපතක් සිදු වී තිබේ.
SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයේ 10 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ එහි 10 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා මහනුවර Devon Hotel හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරී රෝහණ එල්ලාවල මහතා, පසුගිය දශකය තුළ මෙම පාරිභෝගික සමාජයේ උන්නතිය වෙනුවෙන් ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ දායකත්වය අගයමින් එහි සාමාජිකයන්ට සිය ස්තූතිය පළ කළ අතර ඔවුන්ට සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුකළේය.
එහිදී උත්සව සභාව අමතමින් රෝහණ එල්ලාවල මහතා මෙසේ පැවසීය: “අපගේ ගනුදෙනුකරුවන් යනු ප්‍රගතියේ හවුල්කරුවන් බව මහනුවර පාරිභෝගික සමාජය අපට මැනැවින් පෙන්වා දී තිබෙනවා. ඔවුන්ගේ කැපවීම සහ නිර්මාණශීලීත්වය නිසා සමාජයේ යහපත වෙනුවෙන් වටිනා සාමූහික මෙහෙවරක් ඉටුකිරීමට අපට හැකි වී තිබෙනවා. මහනුවර පාරිභෝගික සමාජයේ දස වැනි සංවත්සරය මෙලෙස එක්ව සැමරීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ආඩම්බරයක්. ඉදිරියේදී රට පුරා තවතවත් මෙවැනි පාරිභෝගික සමාජ පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා.”
SLT-MOBITEL පාරිභෝගික සමාජ පිහිටුවා ඇත්තේ සමාගම සහ එහි පාරිභෝගිකයන් අතර දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, දෙපාර්ශ්වය අතර සහයෝගය ඔස්සේ සමාජයට වැඩදායී මෙහෙවරක නිරත වීමට හැකි වන පරිද්දෙනි. මෙම පාරිභෝගික සමාජ මිනිසුන් එකිනෙකා සමඟ සම්බන්ධ කරවීම, සමාජයට යහපතක් සිදුකිරීම සහ පොදු වටිනාකම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් සංකේතවත් කරයි.
පසුගිය දශකය පුරා මහනුවර පාරිභෝගික සමාජය අත්කරගත් සාර්ථකත්වය, පාරිභෝගික හඬ තුළින් අර්ථවත් වෙනසක් සිදු කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලිව පෙන්වා දෙයි. මෙම යහපත් ප්‍රවණතාව ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යමින්, දිවයින පුරා පාරිභෝගික සමාජ ආරම්භ කරමින්, පාරිභෝගිකයන්ට අර්ථවත් සාමූහික මෙහෙවරක යෙදීමට අවස්ථාව උදා කර දීමට SLT-MOBITEL දිගින් දිගටමපියවර ගනිමින් සිටී. ප්‍රජා සංවර්ධනයේදී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙන මෙම පාරිභෝගික සමාජ, අව්‍යාජ හවුල්කාරීත්වයන් තුළින් පාරිභෝගික ළැදියාව ශක්තිමත් කරන අතරම ජීවිත පෝෂණය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි වේ.
