නලින් ප්‍රදීප් උඩවෙල ජීවන රංගනය අවසන් කරයි

දක්ෂ රංගන ශිල්පියෙකු වූ නලින් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනේදීම විශිෂ්ට රංගන හැකියාවක් ප්‍රදර්ශනය කරමින්, ඔහු දේශීය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටියේය.

වේදිකා නාට්‍ය කලාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු, “අන්දරේලා, ජූරිය, කැළණි පාලම, මැන්ඩෙලා, මෝදර මෝල, මී හරක්, සෙවණැලි ඇද මිනිස්සු, හුණුවටයේ කතාව, සුද්දෙක් ඔබ අමතයි” වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට දායක වී ඇත. චරිතාංග නළුවකු ලෙස ඔහුගේ සුවිශේෂී හැකියාව හේතුවෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේදී ඔහු සම්මාන රාශියක් හිමිකර ගත්තේය.

ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රයේදීද නලින් ප්‍රදීප් උඩවෙල මහතා තම සලකුණ තබා ඇත. “පබා, වසන්තය ඇවිල්ලා, දිය ගිනිසිළු, මකුළු දැල්, සද්ගුණාකාරය, රිදී ඉට්ටංකරය, කෝලම් කුට්ටම” වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය 30කට අධික සං මෙන්ම “ජුලියට්ගේ භූමිකාව, රාජ්‍ය සේවය පිණිසයි, අස්වැසුම, තාරකා මල්, ආසයි මං පියාඹන්න, වලාපටල, පරාවර්තන, මුතු සළඹ, මධුර චාරිකා, සංගිලි” වැනි කලාත්මක හා වාණිජ චිත්‍රපට රැසකටද ඔහු දායක වී තිබේ.

ඔහු කලක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු අභාවප්‍රාප්ත වූ බව අපේක්ෂා රෝහල් ආරංචිමාර්ග තහවුරු කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )