2025 වසරේ පළමු මාස 6 තුළ SLT-MOBITEL කැපී පෙනෙන දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

2025 වසරේ පළමු මාස 6 තුළ SLT-MOBITEL කැපී පෙනෙන දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්‍යක් ඉටුකරන්නා වූ AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී.

මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 323 ක අලාභයට සාපේක්ෂව, 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 4.3 ක වාර්තාගත බදු පසු ලාභයක් වාර්තා කිරීමට SLT-MOBITEL සමත් ව තිබීමයි. මෙම දැවැන්ත සාර්ථකත්වය තුළින් පන්නරය ලබමින්, රටේ ප්‍රධාන ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නායකත්වය දීමේ හැකියාව SLT-MOBITEL සතු බවට මෙය හොඳම සාක්ෂියකි. AI තාක්ෂණය, දත්ත පද්ධති සහ සම්බන්ධතා පහසුකම්වල ජාතික මට්ටමේ ධාරිතාව වැඩි කිරීමේ වැදගත්කම වැඩි වැඩියෙන් අවධාරණය කෙරෙමින් පවතින මෙවන් යුගයක අප ලැබුවා වූ මෙම සාර්ථකත්වය දැවැන්ත පිම්මක් වනු ඇත.

“SLT-MOBITEL ආයතනය මෙබඳු කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරන්නේ, පසුගිය රජය යටතේ සමාගමේ අනාගතය පිළිබඳව බරපතළ අවිනිශ්චිතතාවන් රැසකට මුහුණ දී තිබූ පසුබිමකයි. නමුත් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ආරම්භයේ පටන්ම දැරූ ස්ථාවරය වූණේ SLT-MOBITEL ආයතනය විකුණා නොදැමිය යුතුය යන්නයි. මේ අනුව ජාතික සම්පතක් වන මෙම ආයතනයේ අනාගතය සුරක්ෂිත බවට පැහැදිලි සහතිකයක් වර්තමාන පාලනය යටතේ ආයතනයට හිමි වූ පසුබිමක් යටතේ, රජයේ මඟ පෙන්වීම මෙන්ම නිවැරදි නායකත්වයක්ද සමගින් SLT-MOBITEL දැවැන්ත පරිවර්තනයක ගමන ආරම්භ කළා. එහි පියවරක් වශයෙන් නව පැකේජ හඳුන්වා දීමටත්, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමටත්, ජංගම දුරකථන සේවා මෙහෙයුම් ස්ථාවර කිරීමටත් පියවර ගනු ලැබුවා. මේ ආකාරයට ක්‍රමෝපායික නායකත්වය, නිවැරදි ප්‍රාග්ධනය යෙදවීම සහ සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම තුළින් තමන් සමඟ ගනුදෙනු කරන සියලු පාර්ශ්වයන්ගේ විශ්වාසය යළි දිනාගැනීමට වගේම, නව අරමුණක් සහ පැහැදිළි දැක්මක් සමඟින් තම ගමන් මඟ තහවුරු කරගැනීමටත් අද වනවිට සමාගම සමත් වී තිබෙනවා. මේ වනවිට වේගයෙන් දියුණු වන ඩිජිටල් තාක්ෂණ අවකාශයේ සංකීර්ණ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව ඇති සමාගමක් බවට එය පරිවර්තනය වී අවසන්. ඒ අනුව SLT-MOBITEL සමාගම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම් වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් තිබෙනවා” යනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා පැවසීය.
2025 දෙවැනි කාර්තුවේදී නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව හේතුවෙන් SLT-MOBITEL හි මෙහෙයුම් ලාභය 148% කින් ඉහළ නැංවුණු අතර මූල්‍ය පිරිවැය 18.9% කින් පහළ ගියේය. සමාගම් මට්ටමින් ගත් විට, පෙර වසරේදී රු. මිලියන 272 ක බදු පසු ලාභයක් වාර්තා කළ SLT සමාගම මෙවර එය 873% කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 2.6 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය දැවැන්ත වර්ධනයක් වන අතර Mobitel සමාගම ශක්තිමත් මූල්‍ය ප්‍රවණතාවක් සලකුණු කරමින් තිබෙන බවට සහතිකයකි. එමෙන්ම පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධයේදී රු. බිලියන 1.1 ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබීම ද මෙහි තිබෙන විශේෂත්වය යි.

“වසරේ මුල් භාගයේ අප පෙන්නුම් කර තිබෙන මෙම සාර්ථකත්වය, SLT-MOBITEL හි ක්‍රමෝපායික පරිවර්තනයය්ට මෙන්ම ජාතියක් වශයෙන් සිදු වෙමින් පවතින පරිවර්තනයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක්. මෙය හුදෙක් මූල්‍ය සාර්ථකත්වයක් පමණක්ම නොවෙයි. මෙමගින් අපගේ මෙහෙයුම් කටයුතු, ආයතනික පාලනය, විවිධ හවුල්කරුවන්ට, ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු සියලු අංශවල සම්පූර්ණ පරිවර්තනයක් පෙන්නුම් කරනවා. ආයතනික පාලන රාමුව ශක්තිමත් කිරීම, වඩාත් නිවැරදි ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීම සහ සාමූහික දැක්මකින් යුතුව කටයුතු කිරීම නිසා අපට මෙම ලාභදායීත්වය අඛණ්ඩව රඳවා ගැනීමට හැකි වුණා. මේ සියල්ල සමඟින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය තුළ ජාතික සහ ක්‍රමෝපායික භූමිකාවක් ඉටුකරන කේන්ද්‍රස්ථානයක් ලෙස අපට හිමි වී තිබෙන පිළිගැනීම තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.” යනුවෙන් SLT- MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.

එමෙන්ම අද වනවිට රටේ ඩිජිටල් අනාගතය සුභවාදී දිශානතියකට ගෙනයන්නා වූ තවත් වැඩසටහන් හා ව්‍යාපෘති රැසකට SLT-MOBITEL සිය දායකත්වය ලබා දෙමින් තිබේ. මේ අතරින් ප්‍රධානතම වැඩසටහනක් වන්නේ, 2025 සැප්තැම්බර් 29 සහ 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය (National AI Expo & Conference 2025) යි. නවීන තාක්ෂණය අතින් ගත්කළ කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක් මෙන්ම දකුණු ආසියාවේ AI තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි මෙම මෙම වැඩසටහනේ ප්‍රධාන හවුල්කරු වශයෙන් කටයුතු කරනුයේ SLT-MOBITEL සමාගමයි. මෙම වැඩසටහන තුළදී සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ මූල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක උන්නතිය උදෙසා AI තාක්ෂණය භාවිතයට ගත හැකි ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති අතර, ඒ සඳහා යොදාගත හැකි නවීන තාක්ෂණික විසඳුම්ද සම්බන්ධයෙන් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
SLT-MOBITEL දැනටමත් තරුණ පරපුර ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම AI ජංගම දුරකථන පැකේජය වන Hello AI සහ මෙරට ප්‍රථම AI නීති පර්යේෂණ පදනම වන AI Pazz යනාදී විසඳුම් ඔස්සේ පාරිභෝගිකයන් වෙනුවෙන් AI තාක්ෂණය හඳුන්වා දීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් තිතේ. එමෙන්ම දිවයින පුරා ව්‍යාප්ත වී ඇති ෆයිබර් ජාලය ඔස්සේ මෙරට ජනගහනයෙන් 95% ක් තරම් විශාල ප්‍රතිශතයක් ආවරණය කරන SLT-MOBITEL සමාගම රට පුරා AI සහ අනෙකුත් ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය මූලික පදනම සපයනු ලැබේ.

වර්තමානය වන විට SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් තාක්ෂණික දියුණුව උදෙසා ක්‍රමෝපායික පහසුකම් සපයන්නෙකු ලෙස ශක්තිමත් ලෙස ස්ථානගත වී ඇති අතර, ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවට තරග වැදීමට දැවැන්ත සහයක් වෙමින්, සෑම පුරවැසියෙකුටම පුළුල් ආර්ථික සංවර්ධනයක සහ තාක්ෂණික ප්‍රගතියක ප්‍රතිඵල ළඟා කර දීමට කැප වී සිටියි. ඉදිරියටත් ව්‍යාපාරික කටයුතුවලට සමගාමීව රටේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් කැපවීම SLT-MOBITEL සමාගමේ අරමුණ යි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරතරය පියවමින්, රටේ සියලුම පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ අත්කර දීම අරමුණු කරගත් ලංකා රාජ්‍ය ජාලය (Lanka Government Network), පාසල් සම්බන්ධතා ජාලය (Schools Connectivity Network) සහ ‘ගමට සන්නිවේදනය’ ග්‍රාමීය සන්නිවේදන වැඩසටහන යනාදී වැඩසටහන් සඳහා මූලික තාක්ෂණික සහාය සපයනු සැපයෙන්නේ ද SLT-MOBITEL සමාගම වෙතිනි.
එපමණක් නොව, මෑතකදී ලංකා රජයේ ක්ලවුඩ් [Lanka Government Cloud (LGC)] ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ වගකීමද SLT-MOBITEL වෙත පැවරී තිබේ. මෙවැනි දැවැන්ත ව්‍යාපෘති සියල්ල සමඟින් රාජ්‍ය මට්ටමින් ක්‍රියාවට නංවනු ලබන ජාතික තලයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති රැසක් කළමනාකරණය කිරීම සඳහා SLT-MOBITEL සමාගම සිය ඍජු දායකත්වය ලබා දී තිබේ . රාජ්‍ය අනුබද්ධිත සමාගමක් වන SLT-MOBITEL ඉටුකරන මෙම මෙහෙවර, රටේ පුරවැසි දත්තවල ස්වෛරීත්වය ආරක්ෂා කරමින් රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා දැවැන්ත පිටුබලයක් සපයනු ඇති බව නිසැකය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )