සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වීම සහ සමස්තයක් ලෙස මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී තිබිණි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙරට ආර්ථිකයෙහි ජීවනාලිය ලෙස සැලකෙන අතර, එම ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන මෙබඳු වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා සෙලාන් බැංකුව නිරන්තරයෙන් තම සහයෝගය ලබාදෙයි.

මෙම මෙහෙවර වෙනුවෙන් විවිධ සමාගම්, ආයතන හා සංවිධාන සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙස සෙලාන් බැංකුව මෑතකදී ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද “Sale Up” වැඩසටහනේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේය. මෙම වැඩසටහන මගින් ඩිජිටල් නාලිකා ඔස්සේ වෙළඳපොළ ආවරණ පරාසය පුළුල් කරගැනීම සඳහා භාවිතා කළ හැකි මූල්‍යමය විසඳුම් හා ක්‍රමෝපායන් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලදී.

ඉන් අනතුරුව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මාතරදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සෙලාන් බැංකුවද දායක විය. දකුණු පළාතේ අපනයනකරුවන් ඉලක්ක කරගත් මෙම සම්මන්ත්‍රණය තුළදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳාමට අදාළ වන විධිවිධාන හා ක්‍රියාවලි සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ට පුළුල් මගපෙන්වීමක් ලබාදෙන ලදී.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීමේ මෙහෙවර යටතේ ව්‍යවසායිකාවන්ගේ දියුණුව සම්බන්ධයෙන්ද සෙලාන් බැංකුව දැඩි අවධානයක් යොමුකර තිබේ. මෙම අරමුණ මූලික කරගනිමින්, පසුගියදා ගම්පහ ප්‍රදේශයේදී කාන්තාවන් වෙනුවෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී තිරසාර ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණ මෙවලම් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යවසායිකාවන් දැනුවත් කරන ලදී.

උතුරු මැද පළාතේ පවත්වන ලද ‘SME Programme 2025’ වැඩසටහනද මෙයට සමාන අරමුණක් මුල්කර ගනිමින් සංවිධානය කරන ලද්දකි. උතුරු මැද පළාතට ආවේණික තත්ත්වයන් මැනැවින් හඳුනාගෙන ක්‍රියාවට නංවන ලද එම වැඩසටහන තුළදී එම පළාතේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් පූර්ණ මගපෙන්වීමක් ලබාදෙන ලදී.

මෙහි මීළඟ අදියර වූයේ ගාල්ල ප්‍රදේශයේදී පවත්වන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනයි. රොටරි සමාජය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන, දකුණු පළාතේ නැගී එන ව්‍යවසායකයන්ට පුහුණුව හා මගපෙන්වීම ලබාදීම මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් හඳුනාගැනීමට අවස්ථා උදාකර දීම අරමුණු කරගෙන පවත්වනු ලබන වැඩසටහන් මාලාවක එක් අදියරක් විය.

මෙම වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “අප කවදත් ව්‍යවසායකයන්ගේ සහ ව්‍යාපාරවල දියුණුවට උපකාරී වන විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමට කැප වී සිටින බැංකුවක්. අපගේ ආයතනික වටිනාකම් ගොඩනැංවී ඇත්තේ ඒ කැපවීම මතයි. මෙරට ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරන අතරම, ක්‍රමයෙන් දියුණුව වෙමින් පවතින ආර්ථිකය තුළින් මතු වන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ඔවුන් වෙත ලබාදීම අපගේ අරමුණ වී තිබෙනවා. ඉදිරියේදී මෙම මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, රටේ ආර්ථිකය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට හැකි වන ආකාරයට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට අපගේ ඉලක්කයයි.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )