ශ්‍රී ලංකාවට AI අනාගතයේ දොරටු විවර කරන, මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව සැප්තැම්බරයේදී

ශ්‍රී ලංකාවට AI අනාගතයේ දොරටු විවර කරන, මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව සැප්තැම්බරයේදී

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ කෘත්‍රිම බුද්ධි කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා මුලපිරීමක් වනු නිසැකය.

ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව යනු ශ්‍රී ලංකාව AI තාක්ෂණයෙන් බලගැන්වෙන අනාගතයක් වෙත රැගෙන යාම සඳහා ශක්තිමත් ආරම්භයක් ලබාගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද්දකි. එමෙන්ම එය වර්තමානයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් වන මෙරට ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කරවීමේ ක්‍රමෝපායික දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට සෘජුවම දායක වනු ඇත. මෙම ඉලක්කය ළඟා කරගැනීම සඳහා AI තාක්ෂණය මගින් 10% ත් 12% ත් අතර දායකත්වයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඒ අනුව AI තාක්ෂණය ඉදිරියේදී මෙරට ආර්ථික පරිවර්තනය වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL අතර ඇතිකර ගන්නා ලද ඓතිහාසික එකඟතාවක් තුළිනි. මෙම සමුළුවෙහි ‘Ecosystem Partner’ ලෙස ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) කටයුතු කරන අතර, එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා එම සංගමය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරයි. රටේ තාක්ෂණික දියුණුව ඉලක්ක කරගත් පුරෝගාමී හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකි මෙය, ශ්‍රී ලංකාව කලාපය තුළ තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්කිරීම අරමුණු කරගත් ඩිජිටල් ආර්ථික ඉලක්ක සහ දීර්ඝකාලීන දැක්ම සමගද මැනැවින් සමපාත වේ. එමෙන්ම එය රටේ සංවර්ධනය මගින් රටේ සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ හිමි වන පරිසරයක්ද නිර්මාණය කිරීමටද සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

“ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව ශ්‍රී ලංකාවේ AI අනාගතයේ සමාරම්භක සන්ධිස්ථානයක් බවට පත්වේවි. මෙම වැඩසටහන, නවෝත්පාදනය, ආර්ථික වර්ධනය සහ සියලුම පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස AI තාක්ෂණය යොදාගනු ලබන ඩිජිටල් වශයෙන් බලගැන්වුණු දේශයක් නිර්මාණය කිරීම සඳහා රජය දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්. මෙවැනි වැඩසටහන් තුළින්, වගකීම්සහගත ලෙස AI භාවිතයට ගැනීම සහ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් කලාපයට ආදර්ශයක් ලබාදීමට අපට හැකි වේවි.” ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරසිංහ මහතා පැවසීය.
SLT-MOBITEL හි අනුග්‍රහය සමගින් පැවැත්වෙන මෙම දෙදින වැඩසටහන තුළදී ලොව නවීනතම තාක්ෂණික විශේෂාංග රැසක් දැකබලා ගැනීමට එයට සහභාගී වන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. එය AI තාක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වනු ලබන ආකාරය දැකගැනීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ලැබෙන මහඟු අවස්ථාවකි. මෙම ප්‍රදර්ශනය හා සමුළුව තුළදී ශ්‍රී ලංකාවේ AI තාක්ෂණික අනාගතය සම්බන්ධ වැදගත් තේමාවන් රැසක් සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති අතර, වගකීම්සහගත ලෙස AI තාක්ෂණය පාලනය කිරීම, විශ්වාසය හා ආචාරධර්ම, AI භාවිතයට ගැනීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ, බැංකු හා මූල්‍ය සේවා, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යනාදී ක්ෂේත්‍ර තුළ AI තාක්ෂණය භාවිතයට ගත හැක්කේ කෙසේද යන්න ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
“ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL AI තාක්ෂණයේ හැකියාවන් හොඳින් හදුනාගෙන තිබෙනවා. එමෙන්ම රටේ ඩිජිටල් අනාගතය මෙහෙයවීම අපගේ වගකීමක් බවට පත් වී තිබෙන බව අප විශ්වාස කරනවා. SLT-MOBITEL හි නවෝත්පාදනයන් වන Hello AI සහ AI Pazz හරහා අපි දැනටමත් රට පුරා AI තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කරමින් සිටින අතර, එමඟින් අප සුහුරු තාක්ෂණයන් එදිනෙදා ජීවිතය සහ ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කරගැනීම සඳහා භාවිතා කළ හැක්කේ කෙසේද යන්න පෙන්වා දෙමින් සිටිනවා. ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව හරහා, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම AI විප්ලවයට සහභාගී වීමට සහ ඉන් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සලසා දීම සඳහා අප සූදානම්. ඩිජිටල් වශයෙන් අන්තර්කරණය වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා අප එලෙස දායක වෙමින් සිටිනවා. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මේ සුවිශේෂී වැඩසටහන සඳහා මෙන්ම, එහි ඉදිරි කටයුතු සඳහාත් අපගේ සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සක්‍රීය දායක වනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වනවා.” SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.

මෙම සම්මන්ත්‍රණයේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ අනාගත AI තාක්ෂණ මාර්ග සිතියම මෙන්ම, ජාතික AI අරමුදල සහ AI විශිෂ්ටත්ව මධ්‍යස්ථානය නිල වශයෙන් එළිදැක්වීමද සිදුකරනු ඇත.
මෙම වැඩසටහනට ප්‍රදර්ශන, දේශන සහ වැඩමුළු ඇතුළු ඉසව් රාශියක් ඇතුළත් වන අතර, ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වල නියෝජිතයන් රැසක්ද මීට සහභාගී වීමට නියමිතය. Huawei සමාගමේ මැද පෙරදිග ප්‍රධානී ලී ෂී විසින් මෙහිදී AI යටිතල පහසුකම් විසඳුම්, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ ක්ලවුඩ් තාක්ෂණික ක්‍රමෝපායන් සහ 5G තාක්ෂණ භාවිතාව පිළිබඳව අදහස් දක්වනු ඇත. Meta වෙනුවෙන් එහි ඉන්දියානු සහ ගිනිකොනදිග ආසියානු කලාපයේ ප්‍රධානී සන්ධ්‍යා දේවනාදන් සහ නියෝජිතායතන‍ හවුල්කරු (ගෝලීය ජාල නියෝජිතායතන‍) කිම් ලෙන්ග් හියු මීට සහභාගී වන අතර, එහිදී ඔවුන් සමාජ පදනම් සහ ව්‍යාපාර පරිවර්තනය සඳහා AI භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය. මෙම ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගම්වල නියෝජිතයන් මෙම වැඩසටහනට සහභාගී වීම, ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට අනාගතයේදී ජාත්‍යන්තර තලයේ AI තාක්ෂණයන් භාවිතයට ගැනීම සඳහා අගනා පූර්වාරම්භයක් වනු ඇත.

මෙම සමුළුවේදී කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, මූල්‍ය හා බැංකු සේවා, අධ්‍යාපනය, නිෂ්පාදන, ප්‍රවාහන, විද්‍යුත් වාණිජ්‍ය සේවා, රක්ෂණ, සත්කාරක සේවා සහ පාරිසරික කළමනාකරණය ඇතුළු තීරණාත්මක අංශ තුළ AI තාක්ෂණය භාවිතයට ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. එහිදී අවධානය යොමු වන ප්‍රධාන මාතෘකා අතරට ජාතික AI ක්‍රමෝපාය සංවර්ධනය, වගකීම්සහගත ලෙස AI පාලනය කිරීම සහ ඊට අදාළ ආචාර ධර්ම, AI තාක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී මතු වන අභියෝග, කුසලතා සංවර්ධනය සහ විවිධාකාර වූ ක්ෂේත්‍රවලට අනන්‍ය වූ ආකාරයට AI තාක්ෂණය භාවිතයට ගත යුතු ආකාරය යනාදිය ඇතුළත් වේ. එමෙන්ම AI තාක්ෂණය දේශීය වශයෙන් භාවිතට ගැනීමේදී පැනනගින, අදාළ රටට ආවේණික ගැටලු වන භාෂා පිරිසැකසුම් අභියෝග, සංස්කෘතික ලක්ෂණවලට අනුගත වීමේදී පැනනගින සංකීර්ණතා සහ AI සාක්ෂරතාව සම්බන්ධයෙන් පරම්පරා මට්ටමින් මතු වන ගැටලු විසඳීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇත. මීට අමතරව සෞඛ්‍ය සේවාව, අධ්‍යාපනය සහ මහජන ආරක්ෂාව මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ආරම්භක මට්ටමේ ව්‍යාපාරවල දියුණුවට වැදගත් වන AI තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම ආදිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම වැඩසටහනේ දෙවැනි අදියර 2025 නොවැම්බර් සිට 2026 මැයි දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහිදී යාපනය, අනුරාධපුර, මහනුවර සහ මාතර වැනි ප්‍රධාන නගර රැසක් ආවරණය කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම AI සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කිරීම එහි ප්‍රධානතම අරමුණයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තුළ රටේ කිසිදු පළාතකට හෝ ජන කොට්ඨාශයකට අසාධාරණයක් සිදු නොවීමට වගබලා ගැනීම සඳහා රජය දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කරයි.
එමෙන්ම මෙම ජාතික AI ප්‍රදර්ශනය තුළදී ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුත් ජීවන රටාවන් ගොඩනැංවීම සහ රටේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට අවශ්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් කිරීම කෙරෙහිද අවධානය යොමුකෙරෙනු ඇත. තවද මෙම සමුළුව අතරතුර AI නවෝත්පාදන ඇගයීම සඳහා ජනාධිපති සම්මාන උළෙලක්ද පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ප්‍රගමනය වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් හා ආයතන ඇගයීමට ලක් වනු ඇත.
මෙම සමුළුව මෙරට අධ්‍යාපන ආයතන, සමාගම්, ව්‍යවසායකයන්, දේශීය නවෝත්පාදකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන් ඇතුළු විවිධ පාර්ශ්ව අතර සම්බන්ධතා ගොඩනැංවීම හා ශක්තිමත් කිරීම සඳහාද මහඟු කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් AI කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා බෙහෙවින් වැදගත් වනු නිසැකය.
ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව පිලිබඳ වැඩිදුර තොරතුරු aiexpo.lk හි දක්වා තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )