
ආනයනික වානේ හා ඇලුමිනියම් සඳහා ජනපති ට්‍රම්ප්ගෙන් විශාල බද්දක්
කැනඩාවට විශාලම බලපෑම එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කෙරෙන සියලුම වානේ හා ඇලුමිනියම් නිෂ්පාදනයන් සඳහා සියයට 25ක ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (10දා) තීරණය කර තිබේ. කැනඩාව හා මෙක්සිකෝව ඇමෙරිකාවට වානේ අපනයනය කරන ප්‍රධානතම රටවල් දෙක වන අතර කැනඩාව ඇමෙරිකාවට ඇලුමිනියම් අපනයනය කරන ප්‍රධානම රට සේ සැළකේ. මෙයට අමතරව ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන සියලු රටවල් සඳහා නව බදු අයකිරීමේ සැලස්මක් පිළිබඳව මෙම සතිය අගදී ප්‍රකාශයට පත් කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එහෙත් මෙසේ නව බදු අය කිරීම සඳහා ඉලක්ක කර ඇත්තේ කුමන රටවල්ද හා ඇතැම් රටවලින් ආනයනය කරන භාණ්ඩ බද්දෙන් නිදහස් කරන්නේද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපතිවරයා කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මෙම සතිය අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත සියලු රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු අය කිරීමේ ක්‍රමය අනෙක් රටවල් විසින් ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු අය කිරීමක් සිදු කරන්නේද යන්න මත රඳා පවතින පෙනී ගොස් ඇතැයි සඳහන් කර ඇති ඇමෙරිකානු විශේෂඥයෝ එසේ සියලු රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු අය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘ඔවුන් අපෙන් බදු අය කළහොත් අපිත් ඔවුන්ගෙන් බදු අයකර ගන්නාවා’ යනුවෙන් කර ඇති ප්‍රකාශයෙන් එය පැහැදිළි වන බව අවධාරණය කර තිබේ. ‘ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ප්‍රථම ධුර කාලයේදී කැනඩාවෙන්, මෙක්සිකෝවෙන් හා යුරෝපා සංගමයෙන් ආනයනය කෙරෙන වනේ නිෂ්පාදනයන් සඳහා සියයට 25ක බද්දක්ද, ඇලුමිනියම් සඳහා සියයට 10ක බද්දක්ද පනවා තිබූ අතර පසුව මෙක්සිකෝව හා කැනඩාව සමග ඇති කරගත් ගිවිසුමක් මගින් අදාළ බද්ද එම රටවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.