
E – 8 සිද්ධිය මනූෂ CIDයට
E8 සහයෝගිතා වැඩසටහනට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට ඊයේ (20) දැනුම් දුන්නේය.
කෘෂිකාර්මික හා ධීවර සේවය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සිදු වූ සහයෝගිතා වැඩසටහනට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ දැනුම් දීම කළේය.
දකුණු කොරියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.
නඩුව කැඳ වූ අවස්ථාවේ පෙත්සම්කාර විදේශ සේවා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කළ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
හිටපු අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධව 2024/12/23 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් සිද්ධිය සම්බන්ධව තවත් පුද්ගලයන් 35 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ. සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශන ඉතා සංකීර්ණ බවත් එම නිසා හිටපු අමාත්‍යවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් විමර්ශන නිලධාරීහු පැවසූහ. එබැවින් පෙත්සම්කාර මනූෂ නානායක්කාර මහතා සහ දේශපාලන බලධාරීන් සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බව අධිකරණයට දැන් වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙතෙක් සිදු කරන ලද විමර්ශන තුළින් මනූෂ නානායක්කාර මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට සාක්ෂි මතුව නොමැති බවයි.
ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ තොරතුරු කිහිපයක් දැන ගැනීමට ප්‍රකාශයක් ලබා ගැනීමේ අවශ්‍යතාව පමණක් මතුව ඇති බැවින් එම ප්‍රකාශය ලබා දීමට මනූෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දැනුම් දී ඇති බවත් විමර්ශන නිලධාරීහු පැවසූහ.
එහි දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා සිටියේ, සිය සේවාදායකයා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස ඔහු වෙත පැවරී තිබූ වගකීම් ඉටු කිරීම පමණක් සිදුකර ඇති බවයි.
නමුත් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් විදේශගත කිරීමේ මුවාවෙන් මිනිස් ජාවාරමක් සිදු කිරීම වැනි චෝදනා නඟමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ගොනු කර ඇති බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. තම සේවාදායකයා හෙට දිනයේ වුව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි 22 වනදා කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය දින නියම කළාය.
කල්පනි අබේසිංහ