
පොලීසිය බව කියමින් ගල්කිස්සේ නිවෙසකට පැන දෙදෙනෙකු මරලා
පොලීසියෙන් බව සඳහන් කරමින් ගල්කිස්ස වටරප්පල පාරේ නිෙවසකට ඊයේ (07) අලුයම ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයකු නිෙවසේ නිදා සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම ඝාතනය බුබායිහි රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
ඉකුත් වසරේ සැප්තැම්බර් 15 වැනිදා සිට මේ දක්වා විටෙන් විට කොහුවල, දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශ ආශ්‍රිතව සිදු වූ මෙම කණ්ඩායම් දෙකේ ගැටුම්වලින් 06 දෙනකු මියගොස් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
කොස් මල්ලී සහ බඩෝවිට අසංක නමැති දෙදෙනාගේ කණ්ඩායම් අතර මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් සිදු වන මෙම වෙඩි තැබීම්වලින් මියගොස් ඇති 06 දෙනාගෙන් 05 දෙනෙකුම අසංකගේ සමීපතමයන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඊයේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේද අසංකගේ හිතවතුන් දෙදෙනකු බවද එම නිලධාරියා කීය.
අලුයම 4.30ට පමණ යතුරුපැදියකින් තවත් අයකු සමඟ පැමිණි වෙඩික්කරු පොලීසියෙන් යැයි පවසමින් දොරට තට්ටු කර දොර විවෘත කරවාගෙන නිෙවස තුළට කඩා පැන වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි. එක් අයකු එම ස්ථානයේදීත් අනෙක් තැනැත්තා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවත් මියගොස් ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ බෝම්බිරියගේ සුදත් ගෝමස් නොහොත් මනෝ (36) හා චානක විමුක්ති හෙවත් සඳුන් (20) යන අයවළුන්ය.
ඔවුන් දෙදෙනා ඥාතීත්වයෙන් මාමා සහ පුතා වන බව පොලීසිය කියයි.
මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බව පෙනී ගොස් ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් අයකුගේ මිත්තණිය හා සහෝදරියක මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් පෙරේදා (06) රාත්‍රී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම වෙඩි තැබීම වූ ස්ථානයට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළාය.
ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි රෝහන් පුෂ්පකුමාර, ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, දෙහිවල – පී.ඩී. හේරත්