ලබන ජනවාරි 31ට පෙර රග්බි ව්‍යවස්ථාව සංශෝධනය කළයුතුයි

ලබන ජනවාරි 31ට පෙර රග්බි ව්‍යවස්ථාව සංශෝධනය කළයුතුයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නිලධාරීන් පත්කර ගැනීමට නිලවරණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඊයේ (05දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

රග්බි ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර එම නිලවරණයේදී ඡන්ද භාවිත කළ හැකි ඡන්ද හිමියන්ගේ නාමලේඛනය අනුමත කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව නිලවරණය පැවැත්වෙනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අභියෝගයට ලක්කරමින් බස්නාහිර පළාත් රග්බි සම්මේලනයේ ලේකම් රොෂාන් ඩීන් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම ඊයේ (05දා) අභියාචනාධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට ඒ බව පෙන්වා දුන්නේය. ලබන ජනවාරි 31 වන දිනට පෙර, මේ වනවිට පවතින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට ජාත්‍යන්තර රග්බි සම්මේලනය ලිඛිතව දැනුම් දී ඇතැයි ද සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. එම පෙත්සම ඊයේ (05දා) මොහොමඩ් ලෆාර් තාහිර් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

නව නිලධාරීන් මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමෙන් පසුව ඔවුන්ට රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ හැකියාව පවතින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලට පෙන්වාදුන් අතර එම කොන්දේසිවලට දෙපාර්ශ්වය එකඟතාවය පළකිරීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයකට පත්කිරීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )