
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් අමෙරිකාවේ බලය අල්ලයි
ලොවම බලා සිටි අමෙරිකාවේ ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත් කරමිනි. මීට පෙර 2016 දී අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පළමු වතාවට ධවල මන්දිරයට ගිය මේ රිපබ්ලිකානු අපේක්ෂකයා මෙවර ධවල මන්දිරයට යන්නේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසටය. ඔහු හමුවේ පරාජයට පත්වූයේ 60 හැවිරිදි කමලා හැරිස් ය. ඇය වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ උපජනාධිපතිවරිය වූවාය.
මිලියන 160කට අධික ඡන්දදායකයන් ප්රමාණයක් සිය ඡන්දය භාවිත කළ ද, ජනපති හා උපජනපති තෝරාගනු ලබන්නේ එක් එක් ප්රාන්තවල ස්ථාපිත කර ඇති සමස්ත නියෝජිතයන් 538 දෙනකුගෙන් සමන්විත Electoral College ක්රමවේදයෙන් බැවින් ජනපතිවීමට ලබාගත යුතු මුළු ඡන්ද ප්රමාණය ඉන් 270ක් පමණි. ඡන්ද ප්රතිඵල ප්රකාශයට පත් වීමේ අන්තිම මොහොත වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් එම Electoral College ඡන්ද 279ක්ම ලබා සිටි අතර, කමලාට ලැබි තිබුණේ ඡන්ද 223ක් පමණි. ඒ වෙද්දී තවත් ප්‍රාන්ත 4ක ඡන්ද ප්රකාශයට පත් කිරීමට ඉතිරිව තිබිණි. ඒ වෙද්දී ට්‍රම්ප් ඡන්ද මිලියන 71කුත්, කමලා හැරිස් ඡන්ද මිලියන 66කුත් ලබා සිටියහ.
