අවුරුදු 13 ඉඳලාම නායකයා ගැන මම දන්නවා

අවුරුදු 13 ඉඳලාම නායකයා ගැන මම දන්නවා

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන්නන්ගේ වික්‍රමාන්විත පන්දු යැවීම හමුවේ යළි යළිත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ පිතිකරණ තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි තරගයෙනුත් මනාව ඔප්පු විය.

ඒ අනුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5ක පරාජයකට මුහුණදීමට බටහිර කොදෙව් ක්‍රීඩකයන්ට සිදුවිය.

දෙවැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ඇති වූ මොහොතක පන්දුවාර 44කට සීමාවෙද්දි කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ආරාධනා කළේ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙනි.

එම වාසිය ශ්‍රී ලංකා පිලට ලබාදීමට දඟපන්දු යවන්නෝ සමත් වූ අතර ඔවුන් කොදෙව්වන්ගේ ලකුණු ප්‍රමාණය 189කට සීමා කළේ පන්දු වාර 36කදී සියල්ල දවාගනිමිනි. ශ්‍රී ලංකාව ලකුණු 190ක ඉලක්කයක් කරා ගමන ඇරඹුවේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවයි.

ඒ අනුව නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් ලබාගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජයගත් දසවන තරගය ලෙසද ඉතිහාස ගත වෙයි. තරගයේ වීරයා සම්මානය මහීෂ් තීක්ෂණ ලබාගනිද්දී තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන තිබේ.

දෙවැනි තරගයේ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග,

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ කඩුලු 8ක් අපි අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවාගත්තා. ඒත් නවවැනි කඩුල්ලට ලොකු සබඳතාවක් පෙන්නුවත් ලකුණු 189කට වගේ ලකුණු සංඛ්‍යාවකින් දවාගැනීම ගැන අපි සතුටු වෙනවා. ඒ වාගේම උඩ පන්දු ගිලිහීයෑම කාඅතිනුත් වෙන්න පුළුවන්. අපි ඊළඟ තරගයේදී ඒවා නිවැරදි කරගනිමින් ක්‍රීඩා කරනවා.

ඒ වගේම මම අවුරුදු 13 ඉඳලම නායකයා ගැන හොඳින් දන්නවා. ඔහුට හැමවෙලේම තියෙන්නේ ධනාත්මක අදහස්. මම දන්නවා ඔහුට තරගයකදී මොනවාද කරන්න පුළුවන් කියා. මම සෑම වෙලාවකම නායකයාට උපරිම සහයෝගය ලබාදෙනවා.”

සුසිල් ජයකොඩි

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )