ඉන්දීය ගුවන් යානයක් බෝම්බ බියක් නිසා හදිසියේ කටුනායකට

ඉන්දීය ගුවන් යානයක් බෝම්බ බියක් නිසා හදිසියේ කටුනායකට

ඉන්දියාවේ මුම්බායි නුවර සිට පෙරේදා (19) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ( Vistara) ගුවන් සේවයේ, එයාර්බස් ඒ. 320 වර්ගයේ යූ.කේ. 131 දරන ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට ඒ ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයට ලැබී තිබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්සවීමක් සිදු කර විශේෂ පරීක්ෂාවක් සිදු කරනු ලැබීය.

මේ ගුවන්යානය ගුවන් මගීන් 96ක් සහ යානා කාර්ය මණ්ඩලයේ 8 දෙනකු රැගෙන පෙරේදා (19) දහවල් 12.25ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පියාසර කරමින් තිබියදී ගුවන් යානය තුළ බෝම්බයක් අටවා ඇති බවට ඉන්දියාවේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබේ. ඊට සමගාමිව ඉන්දියාවේ මුම්බායි නුවර සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත් වූ විස්තාරා ගුවන් යානය තුළද බෝම්බයක් අටවා ඇති බවට තවත් නිර්නාමික දුරකතන ඇමතුමක් විස්තාරා ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයට ලැබී තිබේ. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ විස්තාරා ගුවන් යානය ඒ වන විටත් ශ්‍රී ලංකා ගුවන් සීමා අවකාශය වෙත පිවිස තිබූ නිසා, මේ බෝම්බ පිළිබඳ තොරතුර වහාම කටුනායක ගුවන් තොටුපොළට යොමු කිරීමට විස්තාරා ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

එසේම එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය විස්තාරා ගුවන් යානය ඒ වනවිට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර ගුවන් තොටුපොළ ආසන්නයට පැමිණ තිබූ බැවින්, ඒ ගුවන් තොටුපොළ වෙත, මෙම ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීමට ලක් කර විමර්ශන කටයුතු සිදු කර තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ තොරතුර ලැබීමත් සමඟ වහාම බෝම්බ නිෂ්ක්‍රිය අංශ, යුද හා ගුවන් හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තු භටයන්, ගිනි නිවීමේ රථ, ගිනි නිවීම් සේවා අංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, ගලවාගැනීමේ පුහුණු භටයන්, ගිලන් රථ, ජල බවුසර් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ ධාවන පථය අසලට කැඳවා තිබිණි. යානය කටුනායකට ගොඩබැස්සවීමත් සමඟ, එය යානා අංගණය වෙත නොකැඳවා, ගුවන් තොටුපොළ ධාවන පථය කෙළවරට ගෙන ගොස්, විමර්ශන මෙහෙයුම ආරම්භ කෙරිණි. ඒ අනුව යානයේ දොරටු විවෘත කර, ගුවන් මගීන් සියලු දෙනා කඩිනමින් පරීක්ෂා කරමින් පිටතට ගැනීම සිදු කළ අතර, ඉන් පසුව ගුවන් යානා කාර්ය මණ්ඩලයද ඒ ආකාරයටම පිටතට ගැනිණි. ඉන් පසුව යානය තුළ ගමන් මලු සහ භාණ්ඩ ගබඩා කර තිබූ කොටසද විශේෂ විමර්ශනයකට ලක් කෙරිණි. මේ විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු පුපුරන ද්‍රව්‍ය ඉව කර අනාවරණය කරගන්නා සුනඛයන් සහ පුපුරන ද්‍රව්‍ය හඳුනාගන්නා ඉලෙක්ට්‍රොනික උපකරණද යොදාගෙන තිබිණි.

පස්වරු 04.45 පමණ වන විට යානය සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කර අවසන්ව තිබූ අතර, මේ පරීක්ෂාවේදී බෝම්බයක් තබා සැකකටයුතු කිසිවක් හෝ ඒ තුළ තිබී හමු වී නැත. පසුව යානයට අවශ්‍ය ඉන්ධන, ජලය, ආහාරපාන ඇතුළු සෙසු අවශ්‍යතා සම්පාදනය කිරීමෙන් පසු යානයෙන් ගමන් කිරීමට නියමිත මගීන් සහ යානා කාර්ය මණ්ඩලයද රැගෙන පැය 3යි විනාඩි 14ක ප්‍රමාදයක්ද සමඟ රාත්‍රී 07.14ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව ගියේය.

ඉන්දියාවේ සිට විදෙස් රටවල් කරා පිටත් වූ එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, විස්තාරා ආදි ඉන්දීය ගුවන් සේවා ගුවන් යානා 20ක් පමණ මෙසේ, එම ගුවන් යානා තුළ බෝම්බ ඇති බවට තොරතුරු ලැබීම නිසා ගමන් අතරමඟ විමර්ශන කටයුතු සදහා මෙදින යොමු කිරීමට සිදු වී තිබිණි. එසේම පසුගිය සති දෙකක කාලය තුළ මේ ආකාරයට ඉන්දීය ගුවන් යානා 78ක් තුළ බෝම්බ ඇති බවට නිර්නාමික දුරකතන ඇමතුම් ලැබීම හේතුවෙන් ගුවන් ගමන් අතරමඟ නවතා පරීක්ෂා කිරීම් සිදු කිරීමට සිදු වී තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )