ජගත් සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි

ජගත් සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි.  එම හමුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සිදුවිය.  පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ මෙරට මැතිවරණ ක්‍රමය පිළිබඳ මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරිණි.  බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමගින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම් යන මාතෘකාව යටතේ සකස් කළ වාර්තාවක් විග්නරාජා මහත්මිය ජනාධිපතිවරයාට පිළිගැන්වුවාය.  එම වාර්තා අනුව මෙරට සංවර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහාය හිමිවෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු විය.  ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධවීම සීමාවීම මූල්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු අභියෝගයන්ට හේතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  පෙන්වා දී තිබේ.  කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කරයි.  ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳ  එහිදී අවධානය යොමුවිය.  ජනාධිපතිවරයා එහිදී පැවසුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇත්තේ කුඩා ඉඩම් ප්‍රමාණයක් බැවින් ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස නොසලකන බවයි.  එම ගැටලුව විසඳීම සඳහා  කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )