
තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට
මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපීන් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස සමඟ සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර ඊයේ දහවල් කාලයේ වැලිකඩ පොලිස් වසමේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහල් නිවාස සංකීර්ණයක් තුල සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු හා චීන ජාතික කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිත බවය.