එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී (Expolanka Holdings PLC) විසින් 2024 මාර්තු 27 වන දින පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමකදී සමාගමේ කොටස් හිමිකරුවන් විසින් පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදෙන ලදී.

එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ අතර, මෙම තීරණය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අනුමැතියට යටත් වේ. සමාගම කොටස් වෙළඳපොළ ලැයිස්තුවෙන් ඉවත් වීම හේතුවෙන් තම කොටස් අලෙවි කිරීමට අපේක්ෂා කරන ඕනෑම කොටස් හිමියෙකුගේ කොටස්, SG හෝල්ඩිංස් ග්ලෝබල් පුද්ගලික සමාගම (SG Holdings Global Pte Ltd) විසින් එක් කොටසක් රු. එකසිය අසූ පහ (රු. 185.00) බැගින් මිලදී ගනු ඇත.

මේ ආකාරයට කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුවෙන් ඉවත් වීමෙන් අනතුරුව එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී හි තත්ත්වය ලැයිස්තුගත වූ සමාගමක සිට පෞද්ගලික සමාගමක් ලෙස වෙනස් වනු ඇත. ඒ අනුව, 2007 අංක 07 දරන සමාගම් පනතේ සඳහන් විධිවිධාන අනුව, මෙතෙක් ‘එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී’ ලෙස පැවති සමාගම් නාමය ‘එක්ස්පෝලංකා හෝල්ඩිංස් ලිමිටඩ්’ (‘Expolanka Holdings Limited) ලෙස වෙනස් වේ.

2001 දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නීතිරීතිවල අංක 5 (2) (a) කොටස අනුව ‘විශේෂ යෝජනා’ වශයෙන් මෙම යෝජනා සම්මත කරගන්නා ලදී.

එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ බෙහෙවින් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන අතර එය කාර්ය සම්පාදන සේවා සහ සත්කාරක සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරයි. විශිෂ්ටත්වය හා නවෝත්පාදනය වෙනුවෙන් කැපවුණු එම සමාගමේ අරමුණ වන්නේ අඛණ්ඩව වර්ධනය වන අතරම තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )