ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක වැඩ භාර ගනී

ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක වැඩ භාර ගනී

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම අද (14) සුබ මොහොතින් සිදු විය.

2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසු ව මෙම නව පත් කිරීම සිදු කෙරිණි.

මෙරට රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශය තුළ ද කීර්තිමත් වෘත්තිකයෙකු වන රත්නායක මහතා, බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, තාක්ෂණ, සංචාරක සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳව මනා පළපුරුද්දකින් යුක්ත අයෙකි. රත්නායක මහතා වර්තමානය වන විට KBSL (Pvt) Ltd සහ Agility Innovations (Pvt) Limited යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ජයම් විජේරත්නම් භාරයේ සහ ඩයලොග් පදනමේ භාරකරු ලෙස ද කටයුතු කරයි.

ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති රත්නායක මහතා, ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, Cargills Ceylon PLC සහ Dialog Axiata යන සමාගම්වල සමූහ ප්‍රධාන ආයතනික නිලධාරීවරයා ලෙසත්, Dialog Broadband Networks (DBN) හි ප්‍රධාන විධායක නිලධාරී සහ IBM ශ්‍රී ලංකා හි මෙරට සාමාන්‍යාධිකාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත.

ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙස ද, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති රත්නායක මහතා, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

රිවර්සයිඩ් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )