JN.1 කොවිඩ් අනුප්‍රභේදය ශ්‍රී ලංකාවේ ඇති බවට සැකයක්

JN.1 කොවිඩ් අනුප්‍රභේදය ශ්‍රී ලංකාවේ ඇති බවට සැකයක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යමින් පවතින JN.1 කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් ශ්‍රී ලංකාවේ පවතින බවට සැකකෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමිනි.

පළමුවරට ලක්සම්බර්ග් රාජ්‍යයෙන් හඳුනාගත්, JN.1 කොවිඩ් අනුප්‍රභේදය ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙස සැලකෙන මෙම වෛසරයෙන් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2669කි.

කේරළ ප්‍රාන්තයේ පැතිර ගිය JN.1 අනු ප්‍රභේදය මේ වනවිට ගෝආ සහ මහරාෂ්ට්‍ර ප්‍රාන්ත දක්වා ද පැතිර ගොස් ඇති බව සඳහන් වේ.

මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ද පළමු JN.1 ආසාදිතයා වාර්තා වූ අතර එම පුද්ගලයා ගෝආ සිට පැමිණි අයෙකි.

වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ මහරාෂ්ට්‍ර ප්‍රන්තයෙන් JN.1 ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පූර්ව මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස යි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරෙන JN.1 කොරෝනා අනුප්‍රභේදය අවධානය යොමුකළ යුතු වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට සුලභ ව දක්නට ලැබෙන ප්‍රතිශ්‍යාවට සමාන රෝගී තත්ත්වය එහි ප්‍රතිඵලයක් විය හැකි බවත් මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

උණ, කැස්ස, ගඳ සුවඳ හා රස නොදැනීම, අධික උණ අඛණ්ඩව පැවතීම, ශ්වසන අපහසුතා, ආහාර ගැනීමට අපහසුවීම සහ වමනය JN.1 කොවිඩ් අනු ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෙයි.

මේ නිසා මෙවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන් වයෝවෘධ සහ දුර්වල ප්‍රතිශක්තියක් සහිත පුද්ගලයන් වර්ධක එන්නත් ලබාගැනීම සුදුසු බවත්, ජනාකීර්ණ, හොඳ වාතාශ්‍රයක් නොමැති ආවරණය වූ ස්ථානවල ගැවසෙන පුද්ගලයින් මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවත් වෛද්‍යවරයා පවසයි.

කොවිඩ් වෛරසය, සමාන්‍ය ප්‍රතිශ්‍ය වෛරස ලෙස නොසැලකිය යුතු බවත් එමඟින් රෝගියෙකු බරපතළ තත්ත්වයකට පත්විය හැකි අතර හෘදයාබාධ, ආඝාත, මානසික සෞඛ්‍ය ගැටලු ඇතුළු දිගුකාලීන ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )