M-CRIL – IDEAS සහයෝගිතාවය: ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව පිම්මක්

M-CRIL – IDEAS සහයෝගිතාවය: ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව පිම්මක්

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් තිරසර අනාගතයක් කරා ගෙනයාමේ අරමුණින් M-CRIL Limited සහ IDEAS Business and Development Academy නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එක්ව තිබේ. මෙය ජාත්‍යන්තර ක්ෂුද්‍රමූල්‍ය විශේෂඥ දැනුම සහ දේශීය ක්ෂුද්‍රමූල්‍ය දැනුම එකට එක්වන නව ගමනක ආරම්භයයි.

2026 සැප්තැම්බර් 11 වන දින කොළඹ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමත් සමඟ මෙම සහයෝගිතාව නිල වශයෙන් ආරම්භ විය. ක්ෂුද්‍රමූල්‍ය ශ්‍රේණිගත කිරීම්, පාරිභෝගික ආරක්ෂාව, සමාජ කාර්යසාධනය සහ ධාරිතා සංවර්ධනය පිළිබඳ M-CRIL සතු ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය හා සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ IDEAS සතු දේශීය දැනුම හා පුහුණු හැකියාවත් මෙම හවුල්කාරිත්වය තුළින් එ්කාබද්ධ වේ.

වගකීම් සහගත හා තිරසර මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම මෙම සහයෝගිතාවේ ප්‍රධාන අරමුණකි. ආයතනික කාර්යසාධනය, විනිවිදභාවය සහ පාරිභෝගික ආරක්ෂාව වැඩිදියුණු කිරීම තුළින් ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය කෙරෙහි පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය තවදුරටත් ගොඩනැගීමට ද මෙම හවුල්කාරීත්වයෙන් අපේක්ෂා කරයි.

වෘත්තීය දැනුමට නව අවස්ථා

මෙහි තවත් වැදගත් පියවරක් වන්නේ ක්ෂුද්‍රමූල්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීය සංවර්ධන වැඩසටහන් සහ සහතිකපත්‍ර පාඨමාලා හඳුන්වාදීමයි. එහි පළමු අදියර ලෙස නිලධාරීන් ඉලක්ක කරගත් ක්ෂුද්‍රමූල්‍ය සහතිකපත්‍ර පාඨමාලාවක් (Microfinance Certificate Course) හඳුන්වාදීමට නියමිත අතර, ඉදිරියේ දී විවිධ මට්ටම්වල වෘත්තිකයන් සඳහා තවත් ජාත්‍යන්තරව පිළිගත් විවිධ පාඨමාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නව නියාමනය හමුවේ ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට ලබාදෙන දායකත්වය

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමන හා ආයතනික වශයෙන් වැදගත් වෙනස්කම් රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම සහයෝගිතාව ආරම්භ වීම විශේෂ වැදගත්කමක් දරයි. ක්ෂුද්‍රමූල්‍ය  සහ ණය නියාමන අධිකාරී පනත (MCRA) ක්‍රියාත්මක වීමත් සමඟ ක්ෂේත්‍රය තුළ ඵලදායී අධීක්ෂණය, වගකීම් සහගත මූල්‍ය ක්‍රියාමාර්ග සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ.

මෙවැනි නව නියාමන පරිසරයක් තුළ M-CRIL සහ IDEAS අතර ඇති වූ මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා දායක වීමට අපේක්ෂා කරයි.

එමෙන්ම, ජාත්‍යන්තර දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ දේශීය අත්දැකීම් එකට එක් කිරීම තුළින් නව නියාමන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල හැකියාවන් සහ වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් වර්ධනය කිරීමට ද මෙමඟින් අවස්ථාව උදාවෙනු ඇත.

මේ අනුව ජාත්‍යන්තර විශේෂඥතාව සහ දේශීය අත්දැකීම් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වඩාත් වගකීම් සහගත, තිරසර සහ වෘත්තීයමය අනාගතයක් කරා ගෙන යාම සඳහා මෙම හවුල්කාරිත්වය තුළින් නව අවස්ථාවන් රැසකට දොරටු විවර කරනු ඇත.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )