
ඓතිහාසික බෙලිහුල්ඔය තානායම ‘EKHO Belihuloya’ නමින් යළි විවෘත වෙයි
පරම්පරා ගණනාවක මතක රැකගනිමින් නව මුහුණුවරකින් සංචාරකයින් අතරට
ශ්‍රී ලාංකික සංචාරකයන්ගේ පරම්පරා ගණනාවක අමතක නොවන මතකයන් හා බැඳුණු ඓතිහාසික බෙලිහුල්ඔය තානායම (Belihuloya Rest House), එහි සුවිශේෂී උරුමය සහ පැරණි සුන්දරත්වය නොනසා නවීකරණය කිරීමෙන් අනතුරුව ‘EKHO Belihuloya’ නමින් යළි විවෘත කර තිබේ.
දශක ගණනාවක් පුරා දිගු ගමනක් අතරමගදී තේ කෝප්පයක් රස විඳීමට, දිවා ආහාරය ගැනීමට හෝ ගලා බසින දිය පහරේ හඬට සවන් දෙමින් නිස්කලංකව විවේක ගැනීමට පැමිණි සංචාරකයන්ගේ ප්‍රියතම ගිමන්හලක් වූ මෙම තානායම, සිය හුරුපුරුදු බව සහ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් මෙසේ නව මුහුණුවරකින් කරළියට පැමිණ ඇත.

උරුමය සහ නවීන ආගන්තුක සත්කාරයේ සුසංයෝගය
මෙම නවීකරණයේදී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික තානායම් සංස්කෘතියට ආවේණික සරල සුන්දරත්වය සුරකිමින්, වර්තමාන සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි කාමර සහ පහසුකම් සම්පූර්ණයෙන්ම උසස් කර ඇත. ස්වභාවික පරිසරයෙන් ආභාසය ලැබූ නවීන අභ්‍යන්තර සැළසුම් (Interior designs) මඟින් අමුත්තන්ට වඩාත් සුවපහසු සහ ලෙංගතු අත්දැකීමක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

අතරමැදි නැවතුමකින් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වෙත
කලක් දීර්ඝ ගමන් අතරමැද නැවතුම්පොළක් ලෙස පමණක් ප්රකටව තිබූ බෙලිහුල්ඔය, වර්තමානය වන විට සුන්දර කඳුකර දර්ශන, දිය ඇලි, ස්වභාවික මංපෙත් සහ එළිමහන් අත්දැකීම් සහිත ප්‍රධාන සංචාරක ගමනාන්තයක් (Destination) ලෙස පරිවර්තනය වෙමින් පවතී. EKHO Belihuloya හරහා මෙම ප්‍රදේශයේ සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන සංචාරකයින්ට ප්‍රධාන දොරටුවක් වීමට අපේක්ෂා කෙරේ.
CHC Rest Houses Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ EKHO Hotels හි මෙහෙයුම් උප සභාපති නිහාල් මුහන්දිරම් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“බෙලිහුල්ඔය තානායම කියන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතක තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කරගත් තැනක්. එය EKHO Belihuloya ලෙස නව මුහුණුවරකට ගෙන ඒමේදී ඒ අතීත මතකයන් සහ තානායමේ අනන්‍යතාව අහිමි නොකිරීම අපට ඉතා වැදගත් වුණා. එම උරුමය රැකගනිමින් නවාතැන් අත්දැකීම නව තලයකට ගෙන ඒමට අප කටයුතු කළා.”
CHC හි 60 වැනි සංවත්සරයට සමගාමීව සිදුවන ව්‍යාප්තිය
මෙම යළි විවෘත කිරීම සිදුවන්නේ Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය සමරන 2026 වසරේදී වීම විශේෂත්වයකි. EKHO Belihuloya යනු EKHO Hotels & Resorts ජාලයට එක්වූ 6 වැනි හෝටලයයි.
ශ්‍රී ලංකාවේ පැරණි තානායම්වලට නව පණක් දෙමින් ඒවායේ ඉතිහාසය සහ අනන්‍යතාව අනාගත පරම්පරාව වෙනුවෙන් සුරැකීමේ වැඩපිළිවෙළ යටතේ, මීළඟ අදියර ලෙස ඓතිහාසික කිතුල්ගල තානායමද මේ වන විට නවීකරණය වෙමින් පවතින අතර එයද ඉදිරියේදී EKHO සන්නාමය යටතේ විවෘත වීමට නියමිතය.
අතීතයේ පැවැති ලෙංගතු බව සහ සුන්දර අත්දැකීම් ඒ අයුරින්ම විඳගනිමින්, නව පරපුරකට තමන්ගේම අලුත් මතකයන් ගොඩනඟා ගැනීමට EKHO Belihuloya දැන් සූදානමින් සිටී.

