ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් වෙනුවෙන් අලුත් වැඩක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් වෙනුවෙන් අලුත් වැඩක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි දී තානාපති කාර්යාලය මඟින් සිදුකරන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර යාවත්කාලීන කිරීම, දිවුරුම් ප්‍රකාශ නිකුත් කිරීම හා ඇටෝනි බලපත්‍ර සහතික කිරීම ඇතුළු අත්‍යාවශ්‍ය කොන්සියුලර් සේවා සහ වෙනත් සහාය සේවාවන් රැසක් ජපානය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් සිදු කළ අතර ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් මෙම සේවාව හා එක් වී සිය අවශ්‍යතා ඉටුකර ගත්හ.

මේ අතර තොචිගි ඔහානා සංවිධානය විසින් සංවිධානය කළ මෙම ජංගම කොන්සියුලර් සේවයට සමගාමීව වෙසක් සහ පොසොන් පොහොය සැමරුම් “වෙසක් කලාපය” පැවැත්විණි.

ඊට ප්‍රදේශවාසී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් එක්ව නිර්මාණය කරන ලද අලංකාර වෙසක් පහන් කූඩු 600කට අධික ප්‍රමාණයක් සැරසිලි සඳහා එක් කර තිබුණි.

ඊට අතිරේකව ලාංකික සංස්කෘතිකාංගවලින් සමන්විත වූ ප්‍රාසාංගික ඉසව් රැසකින් ද මෙම වෙසක් කලාපය වර්ණවත් විය.

උත්සවයේ වැදගත් අංගයක් ලෙස පැවති ළමා චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා සහභාගීත්වය අගය කරමින් වටිනා ත්‍යාග ප්‍රදානය කෙරිණි.

මෙම වෙසක් කලාපය හා සංස්කෘතික ප්‍රසංගය තුළින් මෙරට වෙසක් සංස්කෘතිකාංග ජපන් ජාතිකයන්ට හා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට හඳුනාගැනීමට කදිම අවස්ථාවක් ලද බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පැවසීය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )