ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය තිරසාරත්වය සඳහා වන කැපවීම යළි තහවුරු කරයි

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය තිරසාරත්වය සඳහා වන කැපවීම යළි තහවුරු කරයි

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය (SLIP) තිරසාර ඇසුරුම්කරණ පිළිවෙත් ප්‍රවර්ධනය සහ ජාතික / ගෝලීය පාරිසරික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන් සතු කැපවීම අවධාරණය කර තිබේ. සෑම වසරකම ජූනි 5 වැනි දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය පෘථිවිය සුරැකීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම, සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉලක්ක කර ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලපිරීමකි.

මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වන “ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණයට තිත තබමු” යන පාඨය තුළින් ඇසුරුම් නිර්මාණය, නිෂ්පාදනය, පරිභෝජනය, සහ කළමනාකරණය වඩාත් වගකීම් සහගතව සිදු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ. ඊට ප්‍රතිචාරයක් වශයෙන් SLIP ආයතනය නව්‍යකරණය, අධ්‍යාපනය, සහ ඒකාබද්ධ මුලපිරීම් රැසක නායකත්වය ගෙන ඇත.

“තිරසාර බව තෝරා ගැනීමක් නොවේ; එය වගකීමක්. අධ්‍යාපනය, ප්‍රතිපත්තිමය එකඟතා, සහ පාරිසරික වශයෙන් වගකීමක් සහිත නව්‍යකරණයන් තුළින් මෙම ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට අප කැප වීමෙන් කටයුතු කරනවා. එහිදී පරිසර අමාත්‍යංශය සහ අනිකුත් රජයේ ආයතන සමඟ උපායමාර්ගික සම්බන්ධතා ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි.” යනුවෙන් SLIP ආයතනයේ සභාපති, තුසිත් විජේසිංහ මහතා සඳහන් කළේය.

ඔහු පැවැසුවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමට නම් විධිමත් අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් අත්‍යවශ්‍ය බවයි. ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සහ පරිසර දූෂණය අවම කිරීම තුළින් චක්‍රාකාර ආර්ථිකයක් ඇති කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව නිෂ්පාදකයින් වගවීමේ සංවිධානය (PRO) වැනි යාන්ත්‍රණ ඇති කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.
පරිසරයට හානිකර බලපෑමක් නොවන තිරසාර ඇසුරුම්කරණ පුරුදු ප්‍රවර්ධනය සඳහා SLIP ආයතනය වැඩසටහන් ගණනාවක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකා ආහාර සකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සමඟ එක්ව 2024 ඔක්තෝබර් පැවැත්වූ දීර්ඝ කළ නිෂ්පාදකයාගේ වගකීම (EPR) පිළිබද වැඩමුළුව ඉන් එකකි. කොළඹ BMICHහිදී පැවැත්වුණු ඊට ඇසුරුම් නිෂ්පාදකයින්, සන්නාම හිමිකරුවන්, සහ නියාමන බලධාරීන් ඇතුළු 200කට වැඩි පිරිසක් සහභාගී විය. ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත EPR නීතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි ආකාරයෙන් වැඩමුළුව සංවිධානය කර තිබිණි.

SLIP ආයතනය මධ්‍යම පරිසර අධිකාරිය සහ JICA සහ UNIDO වැනි අන්තර්ජාතික සංවර්ධන සහකරුවන් සමඟද උපායමාර්ගික සහයෝගිතාවයන් ඇති කර ගෙන ඇත. තිරසාර ඇසුරුම්කරණය, තාක්ෂණික දැනුම හුවමාරුව, සහ ප්‍රතිපත්ති සම්පාදනය හරහා වගකීම් සහගත ඇසුරුම්කරණ පුරුදු ප්‍රවර්ධනය කිරීමට ඒවා උපකාරී වේ. ලෝක ඇසුරුම්කරණ සංවිධානයේ සහ ආසියානු ඇසුරුම්කරණ සම්මේලනයේ ඉහළම ආයතනයද වන SLIP ගෝලීය ඇසුරුම්කරණ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කරයි.

ඔවුන් සමාජීය, සදාචාරාත්මක, සහ පාරිසරික තිරසාරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ප්‍රධාන පෙළේ රජයේ ආයතන එක්ව දියත් කර ඇති Clean Sri Lanka ව්‍යාපෘතියේ කොටස්කරුවෙක්ද වේ. ඒ යටතේ පරිසර හිතකාමී ඇසුරුම්කරණය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් හඳුන්වා දී ඇත. පිරිසුදු සහ තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඔවුන් නිෂ්පාදකයින්, ව්‍යාපාර ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ පාරිභෝගිකයින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )