74 වන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැම්බර් 28 සහ 29

74 වන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැම්බර් 28 සහ 29

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි ඓතිහාසික සාංචි මහා පුදබිමේ වාර්ෂිකව පවත්වනු ලබන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ 74 වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ පවසති.

මෙවර මහෝත්සවය සඳහා ශ්‍රී ලංකාව, මියන්මාරය, සිංගප්පූරුව සහ වියට්නාමය ඇතුළු රටවල් රැසකින් බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ සඳහන් කළහ.

විශේෂයෙන්ම, සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා පසුගියදා තායිලන්තයට වැඩම කරවීමෙන් පසු, එම ධාතූන් වහන්සේලා නැවත වන්දනාමාන කර ගැනීම සඳහා තායිලන්තයෙන් ද විශාල බෞද්ධ දූත පිරිසක් මෙවර සාංචියට පැමිණෙන බව බානගල නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

බැතිමතුන්ගේ පහසුවට ප්‍රථම වරට ඩිජිටල් සිතියමක්

මහෝත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රයිසන් දිස්ත්‍රික්කයේ මහා දිසාපති (Collector) ශ්‍රී රෝහිත් සිස්සෝනියා (Shri Rohit Sissoniya) මහතාගේ ප්‍රධානත්වයෙන් බෝපාල් හිදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ මහා දිසාපතිවරයා කියා සිටියේ, සාංචියට පැමිණෙන දේශීය හා විදේශීය බැතිමතුන්ගේ පහසුව තකා ප්‍රදේශයේ රෝහල්, රථගාල්, පොලිස් මුරපොළවල්, හෝටල් සහ නවාතැන් ස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථාන පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ස්කෑන් (QR) කිරීම මගින් භාවිත කළ හැකි පුළුල් ඩිජිටල් සිතියමක් මෙවර ප්‍රථම වරට ස්ථාපනය කරන බවයි.

ශ්‍රී ලාංකික සහ ඉන්දීය සංස්කෘතික අංග

මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගය සඳහා ඉන්දියාවේ ප්‍රාන්ත රැසක කලාකරුවන් සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අමතරව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කරුණාදාස ඔලබොඩුව සම්ප්‍රදායික රංග ශාස්ත්‍රාලයේ නර්තන හා වාදන ශිල්පීන් ධාතු ප්‍රදර්ශන අවස්ථාවන්ට සහ ප්‍රසංගයට සිය නර්තන හා භේරි වාදන දායකත්වය ලබා දෙන බව බානගල විමලතිස්ස හිමියෝ පැවසූහ.

බෝපාල් හි පැවති මෙම සංවිධාන සාකච්ඡාව සඳහා බානගල විමලතිස්ස හිමි, විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමි, මධ්‍ය ප්‍රදේශ් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්.පී. නාම්දේව් (N.P. Namdev) මහතා ඇතුළු පොලිස්, ආරක්ෂක හමුදා, සෞඛ්‍ය, නගර සභා සහ ප්‍රවාහන යන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ. සාකච්ඡාවෙන් අනතුරුව මහා දිසාපතිවරයා ඇතුළු නිලධාරීහු සාංචි පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )