රතු කුරුසේ මානුෂීය මෙහෙයුමට ඩිජිටල් ජවයක්

රතු කුරුසේ මානුෂීය මෙහෙයුමට ඩිජිටල් ජවයක්

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ (SLRCS) මානවවාදී ව්‍යාපෘති සඳහා මහජන සහාය ලබා ගැනීම වඩාත් පහසු සහ ඵලදායී කිරීමේ අරමුණින් නිර්මාණය කළ නව විද්‍යුත් අරමුදල් රැස් කිරීමේ මුලපිරීම වන “RESPONSE” අද (13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් දියත් කෙරිණි.

ඩිජිටල් පරිත්‍යාග හරහා සංගමයේ මානුෂීය සේවාවන් වඩාත් ප්‍රවේශ විය හැකි සහ අර්ථවත් කිරීම මෙම නව වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මෙම ව්‍යාපෘතියේ මානවවාදී සන්නාම තානාපතිවරයා ලෙස මෙරට ජනප්‍රිය මාධ්‍යවේදියෙකු, රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, රංගන ශිල්පියෙකු, ගායකයෙකු මෙන්ම ලේඛකයෙකු ද වන දනු ඉන්නසිතම්බි මහතා නිල වශයෙන් නම් කරනු ලැබීය. යාපනයේ උපත ලබා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ඔහු, මෙහිදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ සන්නාම තානාපති ගිවිසුමට ද අත්සන් තැබීය.

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා සහභාගි විය. මෙම ඩිජිටල් අරමුදල් රැස්කිරීමේ ක්‍රියාවලිය සඳහා විද්‍යුත් මූල්‍ය සහායකයන් ලෙස Mastercard සහ Payable යන ආයතන එක්ව සිටී.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට Mastercard Sri Lanka හි RESPONSE ව්‍යාපාර කමිටුවේ සභාපති සහ ගිණුම් කළමනාකරණ අධ්‍යක්ෂ ශෂි මදනායක මහතා, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ පරිපාලන මණ්ඩලයේ සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

1936 දක්වා දිවෙන මානුෂීය සේවයේ ආඩම්බර උරුමයක් ඇති ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, 1951 දී රාජකීය ප්‍රඥප්තිය මගින් සංස්ථාගත කරන ලද ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මෙරට ප්‍රමුඛතම ස්වාධීන මානුෂීය සංවිධානයකි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )