දෘශ්‍යාබාදිත ප්‍රජාව බලගැන්වීම අරමුණු කරගත් පර්යේෂණ ව්‍යාපෘතියක් SLIIT සාර්ථකව නිමකරයි

දෘශ්‍යාබාදිත ප්‍රජාව බලගැන්වීම අරමුණු කරගත් පර්යේෂණ ව්‍යාපෘතියක් SLIIT සාර්ථකව නිමකරයි

මාලබේ SLIIT විශ්ව විද්‍යාලයීය ආයතනයට ආවේනික උසස් මට්ටමේ පර්යේෂණ පිළිවෙත යලි තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාදිත සහ අන්ධ භාවයෙන් පෙළෙන පුද්ගලයින් සවිබල ගැන්වීම අරමුණු කරගත් නවතම අධ්‍යයනයක් සාර්ථකව නිම කිරීම මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවටම ආදර්ශයකි. මෙම පුළුල් පර්යේෂණ ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඇතුළු අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ රැකියා අවස්ථාවන් වර්ධනය කිරීම ඇතුළු අර්ථික-සාමාජයික කරුණු ගැඹුරින් විමසිල්ලට භාජනය කරන ලදී.

SLIIT ව්‍යාපාරික අධ්‍යයන පීඨය විසින් වසර තුනහමාරක කාලයක් පුරා සිදුකළ මෙම පර්යේෂණය පොදුවේ ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කරන ළද මේ මට්ටමේ ප්‍රථම අධ්‍යයනය වන්නේය. මෙයට ලෝක බැංකුවේ AHEAD ව්‍යාපෘතිය යටතේ මූල්‍යමය දායකත්වය ලැබුණු අතර ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සමාජ විද්‍යා සහ කළමනාකරණ අංශවල පර්යේෂකයින් බොහෝ ගණනක් මීට සම්බන්ධ වී ඇත. ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක පර්යේෂණ විධි ක්‍රම උපයෝගී කරගනිමින් සිදු කළ මෙම අධ්‍යයනය කෙළවර උසස් මට්ටමේ දේශීය හා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරා පත්‍රිකා, සම්මන්ත්‍රණ පර්යේෂණ පත්‍රිකා ඇතුළු විවිධ නිමැවුම් 45කට අධික ප්‍රමාණයක ප්‍රකාශන පළ කර ඇත. මේ විෂය පථයටම අදාලව SLIIT ව්‍යාපාරික අධ්‍යයන පීඨයේ කථිකාචාරිණියක විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දර්ශණපති (M.Phil) උපාධිය ලබාගත් අතර අන්ධබාවය සහිත උපාධිධාරී ගුරුභවතෙකු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනපති (M.Ed) උපාධිය සම්පූර්ණ කරණු ලැබ ඇත.

මෙම උසස් උපාධිධාරීන් බිහිකිරීමේ ලා මූල්‍යමය දායකත්වය මෙන්ම පර්යේෂණ උපදේශකත්වයද ලෝක බැංකු ව්‍යාපෘතිය හරහාම ලබාදීමට හැකිවීම විශේෂත්වයකි. මෙම පුළුල් පර්යේෂණ වැඩපිලිවෙලට SLIIT ව්‍යාපාරික අධ්‍යයන පීඨයේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50කට ආසන්න සංඛ්‍යාවක් දායක වී, විවිධ පැතිකඩ ඔස්සේ තම අවසන් වසරේ පර්යේෂණ ව්‍යාපෘති නිබන්ධන ගණනාවක් සම්පූර්ණ කිරීමත් වැදගත් කරුණකි. මීට අමතරව රටේ උගත් දෘශ්‍ය ඌනතා සහිත සහ අන්ධ බාවයෙන් යුත් තරුණ තරුණියන් මෙන්න තවත් පර්යේෂකයින් ගනණාවක් මීට සහභාගී වූ බවද සඳහන් කළ යුතුය. මේ අනුව AHEAD ලෝක බැංකු ව්‍යාපෘතියේ මූළික අරමුණක් වූ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පර්යේෂණ ප්‍රමිතිය ඉහළ නැංවීම මොනවට සිදු කර තිබීම කාගේත් සැළකිල්ලට බඳුන් විය යුතුය.

විවිධ වූ දෘශ්‍යාබාදිත තත්ත්වයන් සහ එහි ව්‍යාප්තිය සහ හඳුනාගත් ප්‍රජාවන්ගේ ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස් කිරීම කෙරෙහි ද මෙම අධ්‍යයනය තුළින් අවධානය යොමු කෙරිණි. මෙම තොරතුරු ලබා ගැනීමට, මැදිහත්වීම සහ සම්පත් වෙන් කිරීම හරහා නිශ්චිතක්ෂේත්‍ර ඉලක්ක කර එය ආවරණය කිරීමට සහායක් ලැබිණි. SLIIT හි පර්යේෂණ මගින් මෙම පුද්ගලයින්ට රැකියා වෙළඳපොළ තුළ ඔවුන්ගේ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කුසලතා, පුහුණුව සහ සහාය හඳුනා ගැනීමට කටයුතු කරන ලදී. එමඟින් වර්තමාන රැකියා වෙළඳපොළේ අවස්ථා සහ ඒ සඳහා වන බාධක අවබෝධ කර ගැනීම සහ අදාළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙම පර්යේෂණ ව්‍යාපෘතිය අවධානය යොමු කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ පර්යේෂණ කණ්ඩායම් නායක, ව්‍යාපාරික පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය තීක්ෂණ සුරවීර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”දෘශ්‍යාබාදිත සහ අන්ධ භාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සමාජ ආර්ථික ගැටලු පිළිබඳව ගවේෂණයට ලක් කෙරුණු මෙවැනි පුළුල් පර්යේෂණ ව්‍යාපෘතියක් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු කර නැහැ. ඒ වගේම එම ව්‍යාපෘතිය මෑත ඉතිහාසය තුළ කරනු ලැබූ පර්යේෂණවල සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. පර්යේෂණ කණ්ඩායමේ අනිකුත් ප්‍රධාන සාමාජිකයින් දෙදෙනා වූ සහකාර උපකුලපති (පර්යේෂණ සහ ජාත්‍යන්තර) මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ සහ මහාචාර්ය රුවන් ජයතිලක මහත්වරුන්ගේ සහ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරේන් පීටර් මහතා, SLIIT ආයතනයේ ඉහළ කළමනාකරණය සහ කැපවීමෙන් වැඩකළ පර්යේෂණ කළමනාකාරිණිය සහ අනෙකුත් පර්යේෂණ සහකාරවරුන්ගේ සහය විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. දෘශ්‍යාබාදිත සහ අන්ධ තවත් ශාස්ත්‍රඥයින් සහ විද්වතුන් කිහිප දෙනෙකුගේ ද සහය ඇතිව මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට හැකි වූ බව කියන්න ඕනැ. මෙම පර්යේෂණය ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාදිත හා අන්ධ භාවයෙන් පෙළෙන ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවට අපි විශ්වාස කරනවා. ඒ සඳහා එය ඔවුන්ට අධ්‍යාපන සහ රැකියා ක්ෂේත්‍රයන්හි සහ සමාජ සම්බන්ධතා ආදියෙහි සම ප්‍රවේශයක් ලබා දීමට සහ අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පර්යේෂණයේ සොයාගැනීම වැදගත් වනු ඇති.”

 

ආබාධිත පුද්ගලයන් මුහුණ පාන සුවිශේෂී අභියෝග පිළිබඳව ප්‍රජාව අතර දැනුම බෙදා හැරීමට සහ ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට මෙම ව්‍යාපෘතිය විවිධ අයුරින් සහය වී ඇත. මෙම නිරාවරණය මගින් SLIIT ආයතනය තුළ මෙන්ම පොදු සමජයේ විවිධ ස්ථරවල සිටින අයවලුන් තුළ පොදුවේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නංවාලීමට හේතු වී තිබේ.

මීට අමතරව SLIIT ආයතනය විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව පුහුණු වැඩසටහනක් ද සාර්ථකව සංවිධානය කරන ලදී. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් පරිගණක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුකරුවන් 53න් දෙනෙකුගේ පුහුණුව එම වැඩමුළුවට ඇතුළත් විය. මෙම පුහුණුකරුවන් අන්ධ හෝ දෘශ්‍යාබාදිත පුද්ගලයින් සමඟ වැඩ කිරීමට අවශ්‍ය කුසලතා සහ දැනුම වර්ධනය කිරීමට මෙම වැඩමුළුවේදී අවධානය යොමු කළේය. මෙම පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා ප්‍රධාන සම්පත් දායකයන් ලෙස සම්බන්ධ වූ පුද්ගලයින් දෘශ්‍යාබාදිත සහ අන්ධ භාවය සහිත ICT පිළිබඳ විශේෂ දැනුවත්බාවයෙන් යුක්ත වීම ද විශේෂත්වයකි.

මෙම අංශයේ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතුවලට අමතරව, පොදුවේ SLIIT ප්‍රජාව ද දෘශ්‍යාබාදිත පුද්ගලයින් සමඟ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස SLIIT ව්‍යාපාරික පීඨයේ උපාධි අපේක්ෂකයින් විසින් ඔවුන් කේන්ද්‍ර කරගත් සංගීත සංදර්ශනයක් පසුගියදා සංවිධානය කරන ලදී. මේ අවස්ථාව සඳහා SLIIT ආයතනයේ උපාධි අපේක්ෂකයින් සහ කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලවල අන්ධ සහ දෘශ්‍යාබාදිත උපාධිධාරීන් සම්බන්ධ විය. මේ ප්‍රසංගය හරහා ඔවුන්ගේ සංගීත කුසලතා ප්‍රදර්ශයන කිරීමට පමණක් නොව, යහපත් අරමුණක් වෙනුවෙන් මෙවැනි විවිධ කණ්ඩායම්වලට සහජීවනයෙන් කටයුතු කළ හැකි බවද ප්‍රදර්ශනය කෙරිණි. මෙම අවස්ථාව දෘශ්‍යාබාදිත පුද්ගලයින් සවිබල ගැන්වීම සහ විවිධ පසුබිම්වල සිසුන් අතර එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් ඇති කිරීම ප්‍රවර්ධනය කළේය.

මීට අමතරව, පර්යේෂණ ව්‍යාපෘතිය මඟින් දෘශ්‍යාබාදිත ප්‍රජාව සමඟ ක්‍රියා කරන විවිධ සංවිධාන සහ පුද්ගලයන් සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාව සඳහා පහසුකම් සලසා ඇත. මෙම ව්‍යාපෘතිය මගින් සමාජ අභියෝග හමුවේ ඔවුන්ට නොබියව ඉදිරියට යාම සඳහා සහ අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා ප්‍රවේශය ලබා දීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් SLIIT හි කැපවීම තවදුරටත් ශක්තිමත් කර ඇත.

මෙම පර්යේෂණ ව්‍යාපෘතිය දිගු කාලීනව ‘ආබාධිත පුද්ගලයින් ඇතුළු සියලු දෙනාගේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රවේශයන් බලගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම හරහා රටවල් තුළ සහ රටවල් අතර අසමානතාවය’ අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට පහසුකම් සපයනු ලබයි. SLIIT ව්‍යාපාරික පීඨය අනාගතයේදී ද මෙවැනි පුරෝගාමී පර්යේෂණ ව්‍යාපෘති සඳහා නායකත්වය ලබා දෙනු ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )