බිලියන 41ක් වටිනා ASUIA UK අරමුදලින් සංචාරක කර්මාන්තයට වාසි රැසක්

බිලියන 41ක් වටිනා ASUIA UK අරමුදලින් සංචාරක කර්මාන්තයට වාසි රැසක්

යෝජිත ඇ.ඩො. මිලියන 135 ක ASUIA UK අරමුදල් යෝජනා ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීම තුළින් තම දිගුකාලීන ණය ආපසු ගෙවා දැමීමේ ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති බව ලංකා ක්‍ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ක්‍ෂේත්‍රයේ සංගම් නායකයින් පිරිසක් කොළඹ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.

මෙම වැඩසටහන තුළින් දැනට බැංකුවලට ගෙවීමට ඇති රු.බි. 300 ක ණය මුදල් පියවීමට අවස්ථාවක් හිමිවන බව අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් ප්‍රීති ද සිල්වා මෙහිදී පැවසීය. ක්‍ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 800,000 ක් පමණ ණය දෙන ආයතන වලින් රු.බි. 300 ක් පමණ ණය ලබාගෙන ඇති අතර මෙය පියවීමට මෙම ASUIA UK අරමුදල තුළින් 6% ක පමණ පොලියකට ණය මුදලක් ඉල්ලුම් කළ හැකි අතර දැනට ලබාගත් ණය වලට 16% හෝ ඊට වැඩි අනුපාත වලට පොලී ගෙවීමට සිදුවී ඇති බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසාය සංගමයේ (ASMET) සභාපති බෙනට් ජයරත්න මහතා පැවසූයේ ක්‍ෂේත්‍රයේ සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසක් මෙම වැඩපිළිවෙළ අවහිර කිරීමට උත්සාහ දරණ බවයි. කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය උනන්දු වන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණීමේදී සංචාරක රක්‍ෂණාවරණය අනිවාර්ය නොවන නමුත් බොහෝ රටවල් එය වීසා බලපත්‍ර අවශ්‍යතාවයක් බවට පත්කර ඇති අතර එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ විට අනිවාර්ය රක්‍ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වන පළමු රට ශ්‍රී ලංකාව නොවන බව ඔහු පැවසීය. මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි සියළුම විදේශීය අමුත්තන් සඳහා සංචාරක රක්‍ෂණ ක්‍රමය අනිවාර්යකොට ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය අමුත්තන්ගේ විශ්වාසය සහ වෛද්‍ය ආරක්‍ෂාව තහවුරු කරමින් සංචාරක ආර්ථිකය උත්තේජනය කරනු ඇති බවට ඔහු පැවසීය. මෙම යෝජනා ක්‍රමය මගින් විදේශීය සංචාරකයින් සඳහා වැය කරන රජයේ වියදම් ඉතිරි වන බව ජයරත්න මහතා පැවසීය. යෝජිත යෝජනා ක්‍රමය අද්විතීය ස්වයං අරමුදලක් බව පැවසූ ජයරත්න මහතා එයට හේතුව සංචාරකයන් ගෙවන රක්‍ෂණය හරහා වසර 5 ක ආරම්භක කාලසීමාවක් තුළ ක්‍රමානුකූල හිලව් වන බැවින් රජයට ආපසු මෙම අරමුදල පියවීමට සිදුනොවීමයි. තව සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ රක්‍ෂණ ක්‍රමය දින 30ක් සඳහා ක්‍රියාත්මක වන අතර එය ලෝකයේ ඕනෑම තැනකට වලංගු වීමයි.

මෙම රක්‍ෂණ ක්‍රමය මගින් සංචාරකයෙක් ගල් තලාවක හෝ කන්දක අතරමං වූ විට හෙලිකොප්ටරයක් කැඳවා බේරා ගැනීමටත්, ගුවන් ගිලන් රථයක් ගෙන්වා ඉවත් කර ගැනීමටත් හැකිවන අතර එමඟින් ගලවා ගැනීමේ අංගයක් මෙන්ම මෙවැනි මෙහෙයුමක් සඳහා ප්‍රමාණවත් මුදල් ලැබෙන බව හිටපු සමස්ථ ලංකා සංචාරක සේවා සපයන්නනගේ සංගමයේ අධ්‍යක්‍ෂක ජී.ඩී.සී .ජනක බණ්ඩාරගොඩ මෙම මාධ්‍ය සමුළුව අමතමින් පැවසීය.

සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්ය සංගමයේ සභාපති හිරන්ත පෙරේරා මහතා පැවසූයේ සංචාරක අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය පරිදි මෙම රක්‍ෂණ ක්‍රමය මගින් දේශීය සංචාරක මාර්ගෝපදේශකයන්ට ඇ.ඩො. 4000 ක රක්‍ෂණයක් නොමිලේ ලබාදීමට සැලසුම් කොට ඇති නිසා ඔවුන්ට අවශ්‍ය රක්‍ෂණ ආරක්‍ෂාව එමගින් ලබාගත හැකි බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )