
Rising Stars බැඩ්මින්ටන් ඇකඩමියෙන් විදෙස් ක්‍රීඩකයන්ට ආරාධනා…
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුහුණු ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රගතිය මත බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙරටට පැමිණීමට විදෙස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ලොකු උනන්දුවක් දක්නට ලැබෙන බව Rising Stars Badminton Academy හි නිර්මාතෘ හා සභාපති ක්ලැරන්ස් හෝමර් (Clarence Homar) මහතා පවසයි.
1996 මෙරට බැඩ්මින්ටන් ජාතික ශූරයා සහ ජාත්‍යන්තර පදක්කම්ලාභී ප්‍රවීණ බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලැරන්ස් හෝමර් මහතා 1996 සිට වසර දහයක් මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 (යුගල) ක්‍රීඩකයා ද විය.
සෑම තරාතිරමකම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ නිවැරදි තාක්ෂණය සහිත පුහුණුවක් ලබාදීම ඇකඩමියේ අරමුණ බවත්, 2028 වසරේ දී ඔලිම්පික් තරගාවලියට සහභාගිත්වයට හෝ නියෝජනයට ( Represention- Participating) නොව තරග කිරීමට (Competitive) ශ්‍රී ලංකාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දෙදෙනෙකු යැවීම තම ඇකඩමියේ ඉලක්කය බව ක්ලැරන්ස් හෝමර් මහතා පවසයි.
ක්ලැරන්ස් හෝමර් මහතා මේ බව කියා සිටියේ පසුගියදා (17) තලවතුගොඩ, කලල්ගොඩ පිහිටි Rising Stars Badminton Academyයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්ලැරන්ස් හෝමර් මහතා කියා සිටියේ,
තම ඇකඩමියේ ඉලක්කය තනි ක්‍රීඩකයන් ගොඩනැගීම නොව බැඩ්මින්ටන් ක්‍රීඩා කණ්ඩායම් ගොඩනැගීම බවත්, මෙරට බොහෝ බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජාත්‍යන්තරයේ ඇතිවන නව තාක්ෂණික (Modern Technique) සංවර්ධනයන් ආශ්‍රිත පුහුණුව තත්කාලීනව නොලැබීම අපේ රටේ බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට නොයෑමට හේතුවක් බවත්ය.
තවද ජාත්‍යන්තර තලයේ පුහුණුව මෙරට ක්‍රීඩකයන්ට ලබාදීම මෙම ඇකඩමිඅරමුණ බවත්, මෙම ඇකඩමිය ආරම්භ කර ගෙවී ගිය වසර තුන තුළ දී රටවල් රැසක ක්‍රීඩකයන් මෙම ඇකඩමියේ පුහුණුව ලද බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මේ වන විට Rising Stars Badminton Academy ජාත්‍යන්තර බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින් යන බවත්, එසේම විදේශ රටවල පුහුණු ඇකඩමි සමඟ ඒකාබද්ධ වෙමින් පුහුණු සැසිවාර සහ පුහුණු හුවමාරු වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ක්ලැරන්ස් මහතා පැවසීය.
මේ වන විට Rising Stars Badminton Academy හි පුහුණුව ලැබූවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තරඟ රාශියක් ඉහළින්ම ජයග්‍රහණය කර තිබේ.
Rising Stars Badminton Academy හි පුහුණුව ලැබ දේශීය හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගත් දේශීය හා විදේශීය සුවිශේෂ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර,
- බුවනක ගුණතිලක (Buwanaka Gunathilaka)
- චමත් කාවින්ද ඩයස් (Chamath Kavinda Dias)
- සසිඳු කරුණාතිලක (Sasindu Karunathilaka)
- විරාන් නෙත්ත සිංහ (Viren Nettasinghe – 2024 Olympic)
- දුමිඳු අබේවික්‍රම (Dumindu Abeywickrama)
- රසිඳු තෙනුජා හෙන්දහේවා (Rasindu Thenuja Hendahewa)
- සවින්ක නෙත්මින් වීරසේකර (Savinka Nethmin Weerasekara)
- ප්‍රින්ස් දහාල් (Prince Dhal – Nepal -2024 -Olympic)
- මිලෙන් රණසිංහ (Milen Ranasinghe – Australia )
- ඩෙවින් ජෙන්සන් (Davin Jason)
මේ වන විට ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස (Main Coache) ඉන්දුනීසියාවේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් සහ ශ්‍රී ලංකාවේ සිටි ජාතික පුහුණුකරු වන ටෝනි වහීඩි (Tony Wahyudi) සමඟ බුවනෙක ගුණතිලක, රන්තුෂ්ක කරුණාතිලක, චමත් කාවින්ද ඩයස් කටයුතු කරන බව ද මීට පෙර මලික්හටුස් (Malikhatus Sholekah – Indonesia) සහ රිස්මා ඇනෙස්ටසි (Rizma Anestasy Violeta -Indonesia) යන අය ද Rising Stars Badminton Academy හි පුහුණු කරුවන් ලෙස කටයුතු කර ඇත.
මේ වන විට සෑම මාස තුනකටම වරක් මාලදිවයිනේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 15-20 අතර පිරිසක් හා බංග්ලාදේශයේ ක්‍රීඩක ක්‍රීඩකාවන් පිරිසක් Rising Stars Badminton Academy හි පුහුණුවට පැමිණීමට අදාල ගිවිසුම් අත්සන් කර ඇතැයි ද, මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් තරඟාවලියට නේපාලය වෙනුවෙන් සහභාගී වන (නේපාලයේ ජාතික බැඩ්මින්ටන් ශූරයා වන) ( Prince Dhal) ප්‍රින්ස් දහාල් මෙම ඇකඩමියේ පුහුණු ක්‍රීඩකයකු වන බවත්, ඔලිම්පික් තරඟාවලියේ ඔහුගේ Equipment Sponsor (ක්‍රීඩා උපකරණ අනුග්‍රහකත්වය) ලෙස කටයුතු කරන්නේ Rising Stars Badminton Academy බව ක්ලැරන්ස් මහතා පැවසීය. මෙම තරගාවලියෙන් පසු ඔහු නැවත වසර දෙකක පුහුණුවක් සඳහා RSBA වෙත පැමිණීමට නියමිතය.
තවද මේ වන විට මුරුසි දිවයිනේ (Mauritius) ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මාසයක පුහුණුවක් සඳහා RSBA වෙත පැමිණ සිටිති.
මෙරට බැඩ්මින්ටන් පුහුණු ඇකඩමි සඳහා රජයේ කිසිදු අනුග්‍රහයක් නොලැබෙන බවත්, මෙම ඇකඩමි ලියාපදිංචි කිරීමට හෝ නියාමනය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ජාතික බැඩ්මින්ටන් සම්මේලනයේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැත. නමුත් මෑතකදී බැඩ්මින්ටන් සම්මේලනය ඒ පිළිබඳව තමන් සමඟ සාකච්ඡාවක් කළ බව ද ශ්‍රී ලංකා බැඩ්මින්ට් සම්මේලන ව්‍යවස්ථාවේ මෙවැනි ඇකඩමී ලියාපදිංචි කිරීමට කිසිදු ඉඩක් නැති බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා පෙන්වා දුන් බවත්, නමුත් මෙවැනි ඇකඩමි එවැනි ලියාපදිංචි කිරීමක්, නියාමනයක් කිරීම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දියුණුවට තදින්ම බලපාන බව ක්ලැරන්ස් හෝමර් මහතා මෙහි දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
මෙම ඇකඩමි වලින් පුහුණුව ලබන බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අද ඔලිම්පික් මට්ටම ගොස් තිබුණ ද රජය හෝ ඔලිම්පික් කමිටුව සම්මේලනය මෙම ඇකඩමි ඇගයීමට කිසිදු වැඩ පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති නමුත් ඉන්දියාවේ අද ලෝක පූජිත බැඩ්මින්ටන් ක්‍රීඩකයන් බිහිකර ඇත්තේ රජය මැදිහත්වීමෙන් නොව, ප්‍රකාශ් පදුකෝන් ඇකඩමිය, ගෝපිචාන් ඇකඩමිය වැනි ඇකඩමි නිසා බව ඉතා ප්‍රකට කරුණක් බව ක්ලැරන්ස් මහතා අවධාරණය කළේය.
එසේම මෙම ඇකඩමිය පවත්වා ගෙන යන්නේ ලාභයකින් තොරව තමාගේ පුද්ගලික මුදලෙන් බව ද ඔහු පෙන්වා දුන්නේය.
විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුව සඳහා මෙම ඇකඩමියට පැමිණීමේ හේතුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ක්ලැරන්ස් මහතා කියා සිටියේ, ලෝකයේ මේ තත්වයේ පුහුණුවක් ලබා දීමට වැයවන මුදලට වඩා අඩු මුදලක් වැයවීම, අපේ කලාපයේ අනිත් රටවල සංස්කෘතික පසුබිමට වඩා අපේ රටේ සංස්කෘතික පසුබිම ඔවුන්ට සමීප සහ විශ්වාසවන්තදායකවීම, මේ කලාපයේ රටවල අයට අවශ්‍ය ආහාරපාන අපේ රටේ තිබීම, එසේම මෙම ඇකඩමියේ පුහුණුකරුවන් ලෙස විදේශීය පුහුණුකරුවන් කටයුතු කිරීම සහ පුහුණුවට පැමිණෙන අයට ලබා දෙන අන්තර් ජාතික තාක්ෂණය සහිත පුහුණුව කලාපයේ බොහෝ දෙනකු බැඩ්මින්ටන් පුහුණුව සඳහා අපේ ඇකඩමියට පැමිණීමට කැමැත්ත පළ කරනා බවයි.
එසේම එම විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඇකඩමියේ පුහුණුවට පැමිණීම තුළින් ඔවුන් සමඟ පුහුණුවීමට අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට අවස්ථාව ලැබීම ද විශාල වාසියක් බව ඔහු පෙන්වා දුන්නේය.
එසේම අපගේ ඉලක්කය වන්නේ දේශීය ක්‍රීඩකයන් සියයට පනහක් සහ විදෙස් ක්‍රීඩකයන් සියයට පණහකට මෙම ඇකඩමියේ පුහුණුව ලබාදීමටයි.
ඉදිරියේ දී ඉන්දියාව, කැනඩාව සහ ඇමරිකාව යන රටවලද RSBA හි ප්‍රවර්ධන කටයුතු හා RSBA පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බව ද තම ඇකඩමියේ නව පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ බැඩ්මින්ටන් පුහුණු ඇකඩමි මධ්‍යස්ථානයක් ලෙස ඉතා කෙටි කලකින් මාලඹේ ප්‍රදේශයේ දී විවෘත කරන බව ද Rising Stars Badminton Academy ප්‍රධාන විධායක නිලධාරී බුවනෙක ගුණතිලක මහතා පැවසීය.
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට පැමිණීමෙන් පසු එම ක්‍රීඩාවෙන් ඉවත් වන්නේ ඔවුන්ට සිය ක්‍රීඩා කටයුතු කරගෙන යෑමට ප්‍රමාණවත් තරම් අනුග්‍රාහක දායකත්වයක් නොලැබිම බවත් ඊට හොඳම උදාහරණය තෙවරක්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයා සහ වත්මන් ජාතික ශූරයා, 2018 ඕස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි යුගල තරඟය අවසන් පූර්ව වටයට ගිය (ඒක තමයි ලංකාව බැඩ්මින්ටන්වලින් ලබපු ඉහළම ජයග්‍රහණය) තමා අද බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටින්නේ එම ප්‍රශ්නය නිසා බව බුවනෙක ගුණතිලක මහතා පැවසීය.
තමාට එම තරඟවලට අනුග්‍රහය දැක්වුවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ බැඩ්මින්ටන් සම්මේලනය බවත්, නමුත් තමන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට පැමිණීමට නොහැකි වූයේ තනියම ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීමට නොහැකි වූයේ ප්‍රමාණවත් අනුග්‍රහකයෙකු නොසිටි නිසා බව ඔහු පෙන්වා දුන්නේය. අනෙක යම් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වෘත්තීය (Professional ) ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර තරඟවලට යනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම පසුබිමෙන් විශාල අනුග්‍රහක ශක්තියක් අවශ්‍ය බවත් ඒ ශක්තිය ඔහුට තනිවම හෝ ඔහුගේ දෙමව්පියන් සමඟ දරාගන්න බැරි තරම් ලොකු එකක් බවත් මෙකී හේතුන් නිසා බොහෝ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් කෙටි කලකින් එම ක්‍රීඩා පිටියෙන් ඉවත්වන බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක් වූ RSBA ප්‍රධාන පුහුණුකරු ටෝනි වහීඩි කියා සිටියේ, තමන් පළමුවරට 2017 මෙරට ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස පැමිණි අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව තමන් විමතියට පත් වූ බවත් ඉතාම සතුටින් එම පුහුණුවීම් කළ බවත්ය. එහි දී නිලූක, බුවනෙක, සාචි, දිලිනි ඔහු සමඟ පුහුණුවීම් කළ බවත් 2019 දී නැවත ඔහු ඔහුගේ රටට ගිය බවත් පැවසීය. 2021 දී ක්ලැරන්ස් ඔහුට නැවත කතාකර මේ ඇකඩමියේ පුහුණු කටයුතුවලට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් මේවනවිට අවුරුදු තුනක පමණ කාලයක් මෙම ඇකඩමියේ පුහුණු කටයුතු කරගෙන යනබවත් සඳහන් කළේය.
විදේශ රටවල් සමඟ සංසන්දනය කරනවිට තියෙන ප්‍රධාන ගැටළුව ලෙස පෙනීයන්නේ ක්‍රීඩකයන්ට අනුග්‍රාහකයන් නොසිටීම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දියුණු කරන්න විශාල බාධකයක්ව පවතින බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට RSBA ආයතනයේ කළමනාකරු ආර්.සමෘද්ධි මහතා ද සහභාගි විය.