පාසල් ක්‍රිකට් තරඟාවලියට වාරණයක්

පාසල් ක්‍රිකට් තරඟාවලියට වාරණයක්

ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයේ 2023-2024 දෙදින තරඟාවලියේ පහත දැමීමේ තරඟ (Demotion/Relagation) පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ ප්‍රධන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද (25) නිකුත් කළේය.

අප්‍රේල් 08 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයට එරෙහිව අදාළ වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයට නොතිසි නිකුත් කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය එහි නිලධාරීන් ඇතු`ථ පිරිසක් නම් කර ඇත.

නීතීඥ ගිම්හානි ලිවේරා මහත්මියගේ උපදෙස් මත මෙම පෙත්සමම ඉදිරිපත් කරන ප්‍රධාන පෙළේ පාසැල් 05ක් විසින් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බව පෙන්වා දී ඇත,

එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බව මෙතෙක් පැවති ක්‍රමවේදය බවත් එම ක්‍රමවේදය කඩකරමින් වගඋත්තරකාර ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය එහි නිලධාරීන් මෙවර පැවැත්වෙන 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇතැයි පෙන්වා දී ඇත.

වගඋත්තරකරුවන්ගේ එම ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙතෙක් පැවති ආකාරයට එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බවට වන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

මේ බව තහවුරු කරමින් නීතීඥ හිලරි ලිවේරා මහතා දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් ලබන මස 08 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින මෙම පෙත්සම යළි කැඳවවීමට නියම කළේය.

පෙත්සම්කාර පාසැල් වෙනුවෙන් නීතීඥ ගිම්හානි ලිවේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ අරුණි ද සිල්වා මහත්මියය සමඟ නීතීඥ හිලරි ලිවේරා මහතා පෙනී සිටියේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )