CBL සමපෝෂ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ, අඛණ්ඩව දොළොස්වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන “CBL සමපෝෂ 2023 වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය” ජුනි මසයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා පාසල් සිසුන් 12,000 ක් පමණ සහභාගී වන අතර, වසර ගණනාවක් පුරාවට මෙම පාපන්දු ශුරතාවලිය සඳහා දිවයිනේ පාසල් තුළ දක්නට ලැබෙන උද්වේගකාරී ප්‍රතිචාරය සුවිශේෂී වේ. රටේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මකවන පරිදි ක්‍රීඩාංගන 32 කදී, බාලක කණ්ඩායම් 470 ක් සහ බාලිකා කණ්ඩායම් 130ක් මේ සඳහා සහභාගී වනු ඇත. තරගාවලියේදී දිස්ත්‍රික් මට්ටමින් ශූරයන් ලෙස තේරී පත් වූ බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 24ක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් අවසන් මහා තරගය සඳහා අවතීර්ණ වීමට නියමිතය.

තරගාවලිය ජූනි මස 13 වැනිදා පළමුව දඹුල්ලේදී ආරම්භවේ. බාලක, බාලිකා දෙඅංශයේම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල රකින්නා සඳහා ද විශේෂ ඇගයීම් හා සම්මාන මෙහිදී පිරිනමනු ලබයි.

CBL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, තිලංක ද සොයිසා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනාගත පරපුරේ ක්‍රීඩා දක්ෂතාවයන් වර්ධනයට සහාය වීම සඳහා CBL සමපෝෂ විසින් කරනු ලබන කැපවීම පිළිබඳව මෙසේ අවධාරණය කළේය. “සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලකින් දවස ආරම්භ කරමින්, දරුවන් අතර යහපත් පුරුදු දිරිමත් කිරීමට හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ක්‍රීඩාව, දරුවන්ගේ ශාරීරික ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමටත්, ඔවුන්ගේ මානසික හික්මීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉගැන්වීමට සහ ඔවුන් තුළ පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම සඳහා කදිම මෙවලමක්. SSFA හා අප පවත්වාගෙන යන දශකයකට වැඩි දිගුකාලීන හවුල්කාරීත්වය සමගින් සෞඛ්‍ය සම්පන්න, වඩාත් සතුටින් සිටින සහ මනා සංයමයෙන් යුත් අනාගත පරපුරක් ගොඩනැගීම සඳහා ඔවුන්ගේ සහය අප තව දුරටත් අපේක්ෂා කරනවා.”

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ.එස්.ඒ. බණ්ඩාර ලීලාරත්න මහතා මෙසේ පැවසීය. “මෙම තරගය සුවිශේෂී වන්නේ රටේ දුර බැහැර නගරවල හා ප්‍රදේශවල සිසු දරුවන්ට මේ සඳහා සහභාගී වීමට සහ තරඟ කිරීමට අවස්ථාව ලැබීමයි. වයස අවුරුදු 14 න් පහළ කාණ්ඩය මේවන විට සැලකිය යුතු මට්ටමකින් සහ වඩාත් හොඳින් සූදානම් වී සිටිනවා. එම නිසා අපි මෙම වසරේ තරග කිරීම සඳහා දැඩි අපේක්ෂාවකින් පසු වුණා. මෙම උත්සාහයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහය වීම පිළිබඳව සමපෝෂ වෙත මගේ ස්තූතිය පුද කරනවා.”

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ, උපාලි අමරතුංග මහතා පාපන්දු ක්‍රීඩාවේ වේගවත් වර්ධනය හා ජනප්‍රියත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “මෙම තරගාවලිය, ඇතැම් විට පාපන්දු ක්‍රීඩකයෙකු පළමු වරට තරග කරනු ලබන තරගාවලියක් වීමට පුළුවන්. එම නිසා මෙම තරගාවලිය ඔවුන්ගේ අනාගත ක්‍රීඩා දිවියට විශාල ලෙස බලපානු ලබනවා. මෙවැනි තරග ක්‍රීඩා ක්ෂේත්‍රයට තවදුරටත් අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා පසුගිය වසර 12 පුරාවට සමපෝෂ විසින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය ඉතා අගය කළ යුතුයි.”

මීට පෙර පැවති මෙම ශුරතාවලියේ අවසන් මහා තරගයේ බාලක අංශයේ ශූරතාවය ත්‍රිකුණාමලය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගත් අතර, බාලිකා අංශයේ අවසන් මහා තරගයේ ශූරතාවය යාපනය මහජන විද්‍යාලය විසින් දිනා ගනු ලැබිණි.

සමපෝෂ යනු CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CBL Plenty Foods (Pvt.) Ltd හි ප්‍රමුඛතම සන්නාමයයි. එය රටේ අංක එකේ උදෑසන ධාන්‍යමය ආහාර වෙළඳ සන්නාමය වන අතර, මෙරටේ ගොවී ප්‍රජාවන් සමඟ ඇති ශක්තිමත් වටිනා සැපයුම් දාමයන් හරහා දිවයින පුරා සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ද ඉහළම ගුණාත්මක පෝෂණය ලබා දෙමින් ඔවුන් බලගැන්වීමට නිරන්තරයෙන් කැපවී සිටින සමාගමකි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )