
2023 සණස ජාතික සම්මේලනය අභිමානවත් අයුරින් පැවැත්විණි
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ උදාර සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැලසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන (සණස ජාතික සම්මේලනය) නොවැම්බර් මස 28 වෙනි අඟහරුවාදා උදෑසන 10.00 සිට 2.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධානව විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පිරිසක් සහභාගී වී සිටියහ.
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන් මීට වසර දෙකකට ඉහතදී ආරම්භ කරන ලද මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනහි ඉදිරි තුන් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම මෙහිදි පළාත් 9ක් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 25ක සණස නායකයින් 6000ක් වෙත ලබාදුන් අතර මේ තුළින් ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමත් ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000 ක් නිර්මාණය කිරීමත් තුළින්, පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සැලසුම් සකස්කර තිබුණි. ඒ අනුව මේ සඳහා දිවයිනේ නන්දෙසින් සණස සමිති නායකයින් රැසක් සහභාගී වී සිටියහ.
මෙම සම්මේලන සභාව අමතමින් සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන් “රට සංවර්ධනය කිරීමට පාර්ශව හතරක් සිටින බවත්, එනම්, දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය හා මහජනතාව යන අය බවත්, මෙම පාර්ශව හතර නිහතමානීව තම තමන්ගේ යුතුකම ඉටුකළ යුතු බව පවසා සිටි අතර සණස ව්‍යාපාරය ගොඩනගන විට ගමක් ගමක් ගානේ ගිහින් මූලික මුදල හොයාගෙන බැංකු ආරම්භ කළ බවටත්. ඒ නිසා පුංචි මිනිස්සුන්ටත් ඉඩක් දෙන ලෙසටත්, ඔවුන්ගෙන් විශාල දායකත්වයක් රට හදන්න ගන්න පුළුවන් බවත්” වැඩිදුරටත් පවසා සිටියේ ය.
ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට රටේ තරුණ ජවය ශක්තිමත් ඉලක්කයක් කොටගනිමින්, ඔවුන් වෙනුවෙන්ම එකම සන්නාමයක් යටතේ රැකියා තෝතැන්නක් නිර්මාණය කර රටට දායාද කිරීමට සණස ව්‍යාපාරය එදා මෙදා තුර මහත් දායකත්වයක් සපයා ඇත. ඒ අනුව සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන් විසින් සණස මහා සංගමය, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස කැම්පස්, සණස ග්‍රීන් මාර්ට් පුද්ගලික සමාගම, සණස මීඩියා නෙට්වර්ක්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්, සණස උත්තමාවී සමාගම, සණස ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම, සණස ආරක්ෂක සේවා සමාගම වැනි ආයතන රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතාවන් එකින් එක සපුරමින් සිටී. එවන් වූ දැවැන්ත ව්‍යාපාර ජාලයක තවත් එක් දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට හැඳින්විය හැකියි.