CIPM ආයතනය පර්යේෂණ විශිෂ්ටත්වයේ දශකයක් සමරයි  

CIPM ආයතනය පර්යේෂණ විශිෂ්ටත්වයේ දශකයක් සමරයි  

මානව සම්පත් කළමනාකරණය (HRM) පර්යේෂණ, නවෝත්පාදන සහ වෘත්තීය සහයෝගීතාවය තුළින් ඉදිරියට ගෙනයාම සඳහා ඇති කැපවීම නැවත වරක් තහවුරු කරමින්, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකාරණ ආයතනය (CIPM) සිය 10 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සාර්ථකව සලකුණු කළේය. “මානව ප්‍රාග්ධන ඉහළ නැංවීම: පරිවර්තනීය යුගයක මානව සම්පත් කළමනාකරණය” යන තේමාව යටතේ පැවැත්විය.

මෙහිදී සභාව ඇමතූ CIPM ශ්‍රී ලංකා සභාපති ප්‍රියන්ත රණසිංහ මහතා, මෙම සමුළුව ආරම්භ වූ දින සිට අත්කරගෙන ඇති කැපී පෙනෙන වර්ධනය පිළිබඳව සිහිපත් කළේය. 2016 වසරේදී පර්යේෂණ පත්‍රිකා 35කින් ආරම්භවූ මෙම සමුළුව, අදවන විට පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණ වේදිකාවක් බවට පත්ව ඇත.

මෙවර සමුළුව සඳහා ඉදිරිපත් කෙරුණු පර්යේෂණ පත්‍රිකා 160ක් අතුරින් පත්‍රිකා 138ක් පිළිගෙන ඇති අතර, ඒ අතරට ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා 27ක්ද ඇතුළත් වේ. මෙය මෙම උත්සවයේ වර්ධනයවන ගෝලීය පිළිගැනීම සහ ශාස්ත්‍රීය විශිෂ්ටත්ව යමැනවින් කියාපාන්නකි.

ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිය තුළ පර්යේෂණ සංස්කෘතිය ශක්තිමත් කිරීමට මෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය (academia) සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පවතින පරතරය පියවීමට මෙම සමුළුව වැදගත් වේදිකාවක් වී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙහි ප්‍රධාන දේශනය ප්‍රකට මානව සම්පත් චින්තකයෙකු වන මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා විසින් පවත්වන ලද අතර, ඉන්දීය ආචාර්ය කේ.ආර්. සෞම්‍යා මහත්මිය ගෞරවනීය අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූවාය. CIPM කවුන්සිලයේ සාමාජිකයින්, විද්වතුන්, ආයතනික නායකයින්, විශ්වවිද්‍යාල නියෝජිතයින්, පර්යේෂකයන්, මානව සම්පත් වෘත්තිකයන් සහ සිසුන් රැසක් මේ සඳහා සහභාගීවූ අතර, එය ඉගෙනීම, සහයෝගීතාවය සහ වෘත්තීය ජාලකරණය සඳහා වූ සජීවී සංසදයක් බවට පත් විය.

CIPM ශ්‍රී ලංකා හි පර්යේෂණ සම්මන්ත්‍රණ කමිටුවේ සභාපතිනී ආචාර්ය හෙදර් ප්‍රනාන්දු මහත්මිය විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී.

මෙම සමුළුවේදී CIPM ශ්‍රී ලංකා ආයතනය විසින් දැනුම ව්‍යාප්ත කරන ප්‍රකාශන කිහිපයක්ද එළිදක්වන ලදී. ආයතනික මානව සම්පත් සිද්ධිඅධ්‍යයන (case study) ප්‍රකාශනයක් සහ “Journal of Human Resource Management Perspectives” සඟරාවේ විශේෂ කලාපයක් ඒ අතර විය. මේ හරහා මානව සම්පත් දැනුම සහ වෘත්තීය භාවිතය සඳහා වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කෙරිණි.

මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයා ලෙස, CIPM ශ්‍රී ලංකා ආයතනය මානව සම්පත් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට, වෘත්තීය විශිෂ්ටත්වය ඇති කිරීමට සහ ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන් ඔබ්බට මානව සම්පත් වෘත්තියේ සංවර්ධනයට සහ වැඩ ලෝකයේ අනාගතයට දායක වන ගෝලීය වශයෙන් අදාළ දැනුම් පද්ධතීන් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් කැපවී සිටියි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )