ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් විශිෂ්ට සේවක දක්ෂතා අගයයි

ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් විශිෂ්ට සේවක දක්ෂතා අගයයි

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ දස වසරක ගමන්මඟක් සනිටුහන් කර ඇති ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, 2026/27 මූල්‍ය වර්ෂයේ මුල් කාර්තු දෙක තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ සේවකයන් ඇගයීම සඳහා සංවිධානය කළ ‘සමුහ හමුව’ පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.සේවකයන් 900කට අධික පිරිසක් සහභාගි වූ මෙම අවස්ථාවේදී විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයන්ට සම්මාන, සහතික පත්‍ර, විදේශ සංචාර සහ නවීන මෝටර් රථ ඇතුළු තිළිණ රැසක්ද ප්‍රදානය කරනු ලැබීය.

සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී සේවකයන්ගේ දක්ෂතා පුද්ගල මට්ටමින් සහ ශාඛා මට්ටමින් ඇගයීමට ලක් කෙරිණි. එමෙන්ම, විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයන් අතරින් තෝරාගත් ‘FLI Eagles’ සාමාජිකයන්ට ද ඇගයීම් පිරිනැමිණි. ආයතනයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සේවකයන් දැක්වූ කැපවීම, කාර්යක්ෂමතාව සහ දායකත්වය අගය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

සේවකයන්ගේ වෘත්තීය හා පෞද්ගලික සංවර්ධනයට අදාළ දැනුම පුළුල් කිරීමේ අරමුණද ඇතිව එදින වැඩසටහන් රැසක් පෙළගස්වා තිබිණ.

රැකියා ස්ථානයේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේදී ද මතුවන අභියෝග හඳුනාගැනීම, ඒවාට නව ක්‍රමෝපායන් ඔස්සේ විසඳුම් සෙවීම සහ සාමූහිකත්වය පදනම් කරගත් ආයතනික සංස්කෘතියක් ගොඩනැඟීම පිළිබඳව එහිදී සේවකයන් දැනුවත් කෙරිණි.

‘විශ්වාසයෙන්. සීමාවෙන් ඔබ්බට’ යන තේමාව යටතේ 2026/27 මූල්‍ය වර්ෂයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කරන ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මේ වන විට දිවයින පුරා ශාඛා 63ක් හරහා සිය සේවාවන් ව්‍යාප්ත කර තිබේ. සාමාජිකාවන් 150,000කට අධික පිරිසකට මූල්‍ය සේවා සහ මඟපෙන්වීම් ලබාදෙන සමාගම, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් එම පවුල්වල ආර්ථික ප්‍රගතියට දායක වීමටත් කටයුතු කරයි.

සමාගමේ සේවා ජාලය පුළුල් කිරීමේදී සහ සාමාජිකාවන් වෙත සේවාවන් සැපයීමේදී සේවක මණ්ඩලයේ දායකත්වය වැදගත් වන බැවින්, ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඇගයීම කෙරෙහි ද සමාගම නිරතුරු අවධානය යොමු කරයි. ඒ අනුව, සේවක ජයග්‍රහණ අගය කිරීම මෙන්ම ඔවුන්ගේ වෘත්තීය අභිමානය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම ද මෙවැනි හමු හරහා අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර සඳහා: දුරකථන 011 4 238 323 / වෙබ් අඩවිය www.fli.lk

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )