ව්‍යාජ KDK විදුලි පංකා අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

ව්‍යාජ KDK විදුලි පංකා අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

වෙළෙඳපොළ තුළ සංසරණය වන ව්‍යාජ KDK විදුලි පංකා සඳහා මෙරට නීතිමය රාමුව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Elite Radio Engineering (Pvt) Ltd ආයතනය සහ KDK සමාගම තීරණය කර තිබේ. මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

ජීවිත හා දේපළ ආරක්ෂාවට තර්ජනයක්

මාධ්‍ය හමුවට එක්වෙමින් KDK Japan (විදේශීය ගෘහස්ථ වායු තත්ත්ව අලෙවිකරණ මධ්‍යස්ථානය) ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරු තෙට්සුජි කොයානෝ (Tetsuji Koyano) මහතා පැවසුවේ, දශක හයකට වැඩි කාලයක් පුරා මෙරට පාරිභෝගික විශ්වාසය දිනාගත් KDK සන්නාමය කූට ලෙස භාවිත කරමින් ව්‍යාජ පංකා වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

නිවෙස්, පාසල් සහ රෝහල් වැනි ස්ථානවල ඉහළින් සවි කරන උපකරණයක් බැවින්, ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පංකා කඩා වැටීමෙන් හෝ විදුලි කාන්දුවීම් මඟින් ජීවිත හා දේපළවලට දැඩි හානි සිදුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. සැබෑ KDK පංකාවල ආරක්ෂිත කේබල් සහ වැටීම් වැළැක්වීමේ විශේෂ ක්‍රමවේද ඇතුළත් වුවද, ව්‍යාජ පංකාවල එවැනි ආරක්ෂිත උපක්‍රම නොමැති බවත්, ඒවා දින කිහිපයකින් හෝ සතියකින් ක්‍රියා විරහිත විය හැකි බවත් මෙහිදී අනාවරණය විය.

නීතිමය ක්‍රියාමාර්ග සහ වැටලීම්

මෙහිදී අදහස් දැක්වූ Elite Radio Engineering (Pvt) Ltd ආයතනයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී (CMO) හේමන්ත් කුන්දන්මාල් (Hemant Kundanmal) මහතා සඳහන් කළේ, KDK ලාංඡනය සහ වෙළෙඳ ලකුණු බුද්ධිමය දේපළ ලෙස ආරක්ෂා කර ඇති බැවින් ව්‍යාජ නිෂ්පාදකයන්ට සහ බෙදාහරින්නන්ට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවයි.

රෝහල්, පාසල් සහ රාජ්‍ය ආයතනවල පවා සවි කර තිබූ ව්‍යාජ පංකා තාක්ෂණික කාර්ය මණ්ඩල මඟින් හඳුනාගෙන පොලිසියට සහ අදාළ බලධාරීන්ට පැමිණිලි කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සැබෑ KDK පංකාවක් හඳුනාගන්නේ කෙසේද? පාරිභෝගිකයින්ට බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් පමණක් පංකා මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටි කුන්දන්මාල් මහතා, සැබෑ නිෂ්පාදනයක් හඳුනා ගැනීමට පහත කරුණු පරීක්ෂා කරන ලෙස උපදෙස් දුන්නේය:

  • මෝටරයේ ප්ලාස්ටික් ආවරණය: එහි SLS සහතික ලාංඡනය සහ KDK ලාංඡනය පැහැදිලිව එම්බොස් (Emboss) කර තිබේදැයි පරීක්ෂා කිරීම.

  • ප්‍රමිති සහතික: KDK සිවිලිම් පංකා 2007 වසරේදී පංකා සඳහා වූ පළමු SLS 814 සහතිකය දිනාගත් අතර, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ SLS 600 අනිවාර්ය බලශක්ති ලේබල් කිරීම යටතේ තරු පහේ (Five-Star) සහතිකය දිනාගත් පළමු පංකාව ද වේ.

මෙම මාධ්‍ය හමුව සඳහා Elite Radio Engineering ආයතනයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී හේමන්ත් කුන්දන්මාල්, KDK සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශ කළමනාකරු තෙට්සුජි කොයානෝ, ගිනිකොන ආසියානු කලාපීය අලෙවි හා වෙළෙඳකරණ කළමනාකරු ඩැනියෙල් චැං (Daniel Chang) සහ අලෙවි නියෝජිත ක්‍රිස්ටි ලූ (Christy Lou) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )