
ශ්‍රී ලංකා – මුරුසි සබඳතාවල නව පරිච්ඡේදයක්
මුරුසි රාජ්‍යයේ (Mauritius) නව ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයා ලෙස වේදකුර් ශර්මා රම්පුර්තාබ් මහතා පත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතින් සිය නිල පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා – මුරුසි මිත්‍රත්ව සංගමය විසින් කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව කොන්සල්වරයා කියා සිටියේ, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් උපරිමයෙන් කැපවන බවයි.
අතීත මතභේද පසෙකලා නව සහයෝගීතාවක් කරා 2012, 2013 සහ 2014 වර්ෂවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් දෙරට අතර යම් යම් රාජ්‍යතාන්ත්‍රික මතභේද පැවතුණි. කෙසේ වෙතත්, එම අතීත සිදුවීම් වත්මන් සහ අනාගත සබඳතාවලට බාධාවක් කර නොගත යුතු බව ශ්‍රී ලංකා – මුරුසි මිත්‍රත්ව සංගමය මෙහිදී අවධාරණය කළේය. නව කොන්සල්වරයාගේ පත්වීමත් සමඟ වත්මන් ශ්‍රී ලංකා රජයට සහ මුරුසි රාජ්‍යයට අඛණ්ඩ සංවාදය තුළින් අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනඟා ගැනීමට නව මාවතක් විවර වී තිබේ.
ආර්ථික, සංචාරක සහ රැකියා අවස්ථා පුළුල් කිරීම ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයන් දෙකක් ලෙස ශ්‍රී ලංකාව සහ මුරුසි රාජ්‍යය සමුද්‍රීය සහයෝගීතාව, තිරසර සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම, ආයෝජන සහ අධ්‍යාපනය යන ක්ෂේත්රයන්හි පොදු අභිලාෂයන් බෙදාහදා ගනී.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – මුරුසි මිත්‍රත්ව සංගමයේ ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මුරුසි රැකියා වෙළෙඳපොළ විවෘත කර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් බවයි. විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම්, සාධාරණ සේවා කොන්දේසි සහ සේවක ආරක්ෂාව තහවුරු කරමින්, සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරට රැකියා අවස්ථා උදාකර දීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණකි.
දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව, ආයතන සහ ජනතාව අතර සබඳතා තර කරමින් පොදු සමෘද්ධිය උදාකර ගැනීමට නව කොන්සල් රම්පුර්තාබ් මහතාට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා – මුරුසි මිත්‍රත්ව සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා ඇතුළු පිරිස මෙහිදී විශ්වාසය පළ කළහ.
