
මුහුද යට විසිතුර ලොවට ගෙනයන ලංකාවේ ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සමඟ දශක ගණනාවක් තිස්සේ බැඳී සිටින ආනන්ද මලවිපතිරණ මහතාට බ්‍රිතාන්‍ය නයිට් පදවි ගෞරවයක් හිමි වී තිබේ.
එක්සත් රාජධානියේ Knights of British Empire (KBE – Knights of Hope) ආයතනය විසින් සංවිධානය කළ International Graduation Ceremony 2026 උත්සවයේදී මෙම නයිට් පදවි ගෞරවය ඔහු වෙත පිරිනමනු ලැබීය.
උත්සවය සැප්තැම්බර් 12 වැනිදා කොළඹ තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැති අතර, එහිදී විශේෂ සම්මානලාභීන් සඳහා Knights of British Empire නයිට් පදවි පිරිනැමීම සිදු කෙරිණි.
නයිට් පදවියක් යනු පුද්ගලයකුගේ වෘත්තීය හෝ සමාජීය දායකත්වය ඇගයීම සඳහා පිරිනැමෙන ගෞරව නාමයක් වන අතර, මලවිපතිරණ මහතාට එම ගෞරවය හිමිවීම ඔහු දශක ගණනාවක් පුරා නියැළී සිටින ක්ෂේත්‍ර හා සම්බන්ධ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙයි.
වසර 60කට ආසන්න කාලයක් විසිතුරු මත්ස්‍ය ක්ෂේත්රය සමඟ සම්බන්ධ වී සිටින මලවිපතිරණ මහතා Aquamarine International ආයතනයේ සම-නිර්මාතෘවරයකු මෙන්ම සභාපතිවරයාද වේ. ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍යයන් විදේශ වෙළෙඳපොළ වෙත රැගෙන යාම ඔහුගේ ව්‍යාපාරික ගමනේ ප්‍රධාන කොටසක් වන අතර, ආසියානු සහ යුරෝපීය රටවල් ගණනාවක් වෙත මෙරට විසිතුරු මත්ස්‍යයන් අපනයනය කිරීමේ කටයුතුද ඔහුගේ නායකත්වය යටතේ සිදුවෙයි.
විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට ජලජ ජීවීන්ගේ අභිජනනය, පර්යේෂණ සහ සංරක්ෂණය සම්බන්ධ කටයුතු කෙරෙහිද ඔහු දිගු කලක් තිස්සේ අවධානය යොමු කර ඇත. එම ක්ෂේත්රයේ දැක්වූ දායකත්වය වෙනුවෙන් අඛණ්ඩව වසර 14ක් ජනාධිපති සම්මානයෙන්ද ඔහු පිදුම් ලබා තිබේ.
ආනන්ද මලවිපතිරණ නාමය ජලජ ජීව විවිධත්වය හා පර්යේෂණ ක්ෂේත්රය සමඟ සම්බන්ධ වන තවත් වැදගත් කරුණක් වන්නේ Danio Pathirana සහ Puntius Pathirana යන මත්ස්‍ය විශේෂ දෙකද ඔහුගේ නමින් නම්කර තිබීම හේතුවෙනි.
වසර ගණනාවක් පුරා කිමිදුම් කටයුතුවලද නිරතව සිටින මලවිපතිරණ මහතා, මුහුද යට සිදුකළ ගවේෂණවලදී හමුවූ ඓතිහාසික වටිනාකමක් ඇති වස්තූන් රැසක් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
මෑතකදී World Environmental Olympic Committee (WEOC) විසින්ද ආනන්ද මලවිපතිරණ මහතා International Honorary Ambassador තනතුරට පත්කර ඇත. ජලජ ජීවීන්, ජලජ ජීව විවිධත්වය, පාරිසරික සංරක්ෂණය සහ අපනයන ක්ෂේත්රය සඳහා ඔහු කළ දායකත්වය එම පත්වීමට හේතු වූ බව පත්වීම් ලිපියේ සඳහන් කර තිබේ.
දශක ගණනාවක් පුරා දිවෙන මෙම වෘත්තීය සහ සමාජීය ගමනේදී මලවිපතිරණ මහතාට සමීපතම සහායක් ලබාදුන් චරිතයක් ලෙස ඔහුගේ බිරිඳ ප්‍රින්සි පතිරණ මහත්මිය සඳහන් කළ හැකිය. ව්‍යාපාරික කටයුතුවලදී මෙන්ම ජීවිතයේ විවිධ අභියෝග සහ වෙනස්කම් හමුවේද ඔහු සමඟ රැඳෙමින්, මෙම දිගු ගමනට ඇය ලබාදුන් සහාය ඔහුගේ සාර්ථකත්වය පිටුපස ඇති රහස බව ජාත්‍යාන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇත.
ආනන්ද මලවිපතිරණ මහතාමීට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් ඇරඹුණු ගමනක් විදේශ වෙළෙඳපොළ දක්වා පුළුල් කරමින්, ජලජ ජීව විවිධත්වය, පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සමඟද සම්බන්ධ වූ ආනන්ද මලවිපතිරණ මහතාගේ දශක හයකට ආසන්න ගමනට සැප්තැම්බර් 12 වැනිදා ලැබුණු බ්‍රිතාන්‍ය නයිට් පදවි ගෞරවය තවත් ජාත්‍යන්තර ඇගයීමක් ලෙස එක් වී තිබේ.
