
මියන්මාර් සංචාරක කණ්ඩායම් රැසක් Wind & Waves Travels හරහා දිවයිනට
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මෙවර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ජවයක් එක්කරමින් ජාත්‍යන්තර සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබේ. පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් පවතින අතර, ඒ අතරින් මියන්මාර් සංචාරක කණ්ඩායම් රැසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයක් වී ඇත.
මහනුවර ඇසළ පෙරහර නැරඹීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, ඓතිහාසික ස්ථාන සහ ස්වභාවික සුන්දරත්වය අත්විඳීම අරමුණු කරගත් මෙම සංචාරක වැඩසටහන් සඳහා Wind & Waves Travels ආයතනය සක්‍රීය දායකත්වයක් ලබාදී තිබේ.

දිනුකා ධර්මරත්න
ආයතනය පවසන පරිදි, මේ වන විට අවස්ථා දහයකදී කණ්ඩායම් දහයක් වශයෙන් මියන්මාර් සංචාරකයන් ඉතා විශාල පිරිසක් එම ආයතනය හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම තත්ත්වය විශේෂ වන්නේ මියන්මාර් ජනතාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන බෞද්ධ හා සංස්කෘතික සබඳතාවයද මෙවැනි සංචාර සඳහා පසුබිමක් සපයන බැවිනි. දළදා වහන්සේට ගෞරව දැක්වීම, මහනුවර ඇසළ පෙරහර අත්විඳීම සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමය දැකබලා ගැනීම මියන්මාර් සංචාරකයන්ගේ මෙම සංචාරවල සුවිශේෂී අංග බවට පත්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Wind & Waves Travels කළමනාකාර අධ්යක්ෂ ලකිත් නන්දි ධර්මරත්න මහතා පැවසුවේ ඇසළ පෙරහර ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට හඳුන්වාදීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවයි.
“ඇසළ පෙරහර අපේ රටේ සංස්කෘතික උරුමය ලෝකයට සජීවීව දැකගත හැකි සුවිශේෂී අවස්ථාවක්. විශේෂයෙන් මියන්මාර් ජනතාවට ශ්‍රී ලංකාව සමඟ තිබෙන්නේ ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතා සමීප බැඳීමක්. ඒ නිසා ඔවුන්ට මහනුවර ඇසළ පෙරහර නැරඹීම සාමාන්‍ය සංචාරක අත්දැකීමකට එහා ගිය ආධ්‍යාත්මික හා සංස්කෘතික අත්දැකීමක්.” යනුවෙන් ඒ මහතා පැවසීය.
සංචාරකයන් සඳහා සංවිධානය කරන වැඩසටහන් ඇසළ පෙරහරට පමණක් සීමා නොකර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි සකස් කිරීම තුළින් සංචාරක ව්‍යාපාරයේ ප්රතිලාභ පුළුල් කිරීම තම ආයතනයේ අරමුණ බවද ඒ මහතා සඳහන් කළේය.

ලකිත් නන්දි ධර්මරත්න
“සංචාරකයෙකු ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිට නැවත සිය රට බලා පිටත්ව යන තෙක් ඔහුට හෝ ඇයට ලැබෙන සෑම අත්දැකීමක්ම ශ්‍රී ලංකාව පිළිබඳ මතකයක් බවට පත්වෙනවා. ඒ නිසා ලෝකයේ පිළිගත් සංචාරක සේවා සපයන්නෙකු ලෙස අපගේ වගකීම වන්නේ හුදෙක් සංචාරයක් සංවිධානය කිරීම පමණක් නොවෙයි; ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය, ආදරය සහ නැවත පැමිණීමට ඇති කැමැත්ත ඇතිවන අත්දැකීමක් ඔවුන්ට ලබාදීමයි.” යනුවෙන් ලකිත් නන්දි ධර්මරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙවැනි සංචාරක ප්රවාහයන්ගේ ප්රතිලාභ මහනුවරට පමණක් සීමා නොවී දිවයිනේ විවිධ ප්‍රදේශ වෙතද ගලා යයි. හෝටල්, ප්‍රවාහන සේවා, ආහාරපාන, සංචාරක මඟපෙන්වීම්, සිහිවටන සහ අනෙකුත් සංචාරක සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට එමගින් ආර්ථික අවස්ථා නිර්මාණය වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2025 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2,362,521ක් වූ අතර, එය 2024 වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයකි. 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,343,418ක් බවද එම අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
මෙම සංචාරක ප්‍රවණතාවය රටේ විදේශ විනිමය ඉපැයීම් සඳහාද වැදගත් දායකත්වයක් සපයයි. Reuters වාර්තාවකට අනුව 2026 ජූලි වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වී තිබේ.
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමය ජාත්‍යන්තර සංචාරකයන් වෙත ඉදිරිපත් කරන ප්‍රධාන අවස්ථාවක් බවටද පත්ව තිබේ.
වසර තිහකට අධික සංචාරක කර්මාන්තයේ අත්දැකීම් සහිත කළමනාකාරීත්වයකින් යුත් Wind & Waves Travels ආයතනය (www.windandwaves.lk) විදේශීය හා දේශීය සංචාරකයන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන සංචාරක පැකේජ, සංචාරක මඟපෙන්වීම් සහ අනෙකුත් සංචාරක සේවා රැසක් සපයමින් වඩා විදිමත් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරයි.
